Sunday, July 27, 2014

එදා දෙව් මැදුරේ සිට ඇරඹුණු ඒ ගමන

ඒ හිමිදිරි උදැසන
සැබවින් ම සුන්දර උදෑසනකි.
අපේ පෙම් සිහින සැබෑ විය.
පුජාසනය මත දැල් වූ
ඉටි පහන් දැල්ල
අපේ ජීවිත ආලෝකමත් කල බව
මම දුටිමි.




කන්තාරු කණ්ඩායම
ලයාන්විත ස්වරයෙන් ගැයූ
ආශිර්වාද ගීත ප්‍රාර්ථනාවන්
දෙමව්පිය වැඩිහිටි ආශිර්වාද මැද
විවාහ චාරිත්‍ර ඉටුකළ
පුජා ප්‍රසාදී තුමන් ගේ
ගැඹුරු හඬින්
අප හදවත් තුළ ජීවමාන වුයේ
අප වෙනුවෙන් දිවි පිදූ
ජේසුස් වහන්සේ බව සැබෑය

" එපිසා ........5/30 චේදයේ සිට අවසානය දක්වා කරුණු පහදා දෙමින් අපේ හදවත් තුලට උන්වහන්සේ සමීප වූ සේක

" සෑම පුරුෂයකුම තමාට මෙන් තම භාර්යාවට ප්‍රේම කල යුතුය. සැම භාර්යවක්ම තම ස්වාමි පුරුෂයාට ගෞරවය දැක්විය යුතුය

ස්වාමිනි ........
ඒ එදා අප විවාහ වූ දවසේ
මා සවනත වැටුන හඬයි

එත් අද ඇසෙන්නේ .............
බිරිය දරුවන් ද සැමියා ද දමා
අනියම් පුරුෂයා සමග දිවි නසා ගනී..........

බිරිඳ මරා සැමියා වස බොයි
වෙනත් ගැහැනියක සමග සිටි සැමියාට පිහි පහර

අනියම පුරුෂයා සමග සිටියදී
බිරිය මාරු තුරුලට

සැමියාගේ බීමත් කම නිසා
බිරිය දරුවන් සමග වස බෝයි.

ස්වාමිනි ..............
මේ තත්වයට කුමක් කරමුද ?
ඒ මෝඩ මිනිසුන්  වෙනුවෙන්
අනුකම්පා කරනවා හැරෙන්නට
කල යුත්තේ කුමක්දැයි නොතේරේ ..........

එදා ඔබ වහන්සේ පවසූ පරිදි අපි දෙදෙනා ඇත්තෙන්ම දෙදෙනෙකු නොව එක් අයෙක්මය අපි එදා මුදු පැළඳ පොරොන්දු වූ ආදරය අපි අපේ මුදු රහිත වුවද ඒ ආදරය සෙනහසින් රැකගෙන සිටිමු

ජෙසුනී.............
රාගයෙන්, ආශාවන්ගෙන්  මනමත් වූ මෝඩ තිරිසන් මිනිසුන් වෙනුවෙන් අනුකම්පා කරනවා හැරෙන්න අපි තවත් මොනවා කරන්නද
ජේසුනි...........
මේ මෝඩ මිනිසුන්ට අනුකම්පා කරන්න
අපි ඔබවහන්සේට ප්‍රශංසා කරමින්
ප්‍රේමයට නිගරුව දිවි ගෙවන
පරාජිතයන්ගේ ඒ පරාජිත
කතන්දර නොඇසෙන්නට
අපි අපේ දෙසවන් වලට
ඇඟිලි ගසාගෙන
ඔබ වහන්සේගේ දේව වචනය ඇතුලත්
ඒ ශුද්ධවූ බයිබලය
පෙරළා කියවමු

මිනිසෙක් තමාගේ  පියාද මවද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන්නේය
ඒ දෙදෙනා එක්කෙනෙක් වන්නේය

එදා දෙව් මැදුරේ සිට
ඇරඹුණු ඒ ගමන
දෙව්මැදුරේ කෙලවර
සුව සාන්ත මිහිදන් බිමේ
පස් කඳ උඩින් පැන
අපට හිමි මිනී වල තුල
සැඟවෙන තුරු ..............

විවාහය ගැනත් විවාහ දිවිය ගැනත්
කිතුනුවන් වශයෙන් අප
දන උගත් දේ අනුව
මිනිසත් බව සමග
ජීවත් වනතුරු අපි
ආදරයෙන් වෙළී සිටිමු.
ප්‍රේමයෙන් වෙළී සිටිමු.

ඇයි ජෙසුනී......................
ඒ සද්ධර්මය නොරුස්සන මෙවන් ලෝකයක් තුල
ඔවුනට අනුකම්පා කල මැනව
ශුද්ධ ලියවිලි තේරුම් ගැනීමට
තවත් එක් වතාවක් හෝ ඔවුන් වෙත
ශුද්ධාත්මයානන් වැඩම කොට
සිතන්නට ඉඩ දෙනු මැනව
කාලය වෙන් කල මැනව
ආමෙන් ........................

Friday, July 25, 2014

ලස්සන සහ අවලස්සන


එක්තරා මුහුදු වෙරළකදී  ලස්සනට අවලස්සන මුණ ගැසුනේය.

" යාලුවේ අපි මුහුදට බැහැල නාමුද?.......... ලස්සන අවලස්සන ගෙන් ඇසුවේය.අවලස්සනත් ඊට කැමති වූ බැවින් අද සිටි සළු පිළි උනා තැබූ දෙදෙනා මුහුදෙ පිනන්නට පටන් ගත්හ.

ටික වෙලාවකින් අවලස්සන ගොඩට ඇවිත් ලස්සනගේ ඇඳුම් ඇඳගෙන යන්නට ගියේය. ලස්සන ගොඩට විත් බලන විට ඔහුගේ ඇදුම් දක්නට නොවුනි.ලැජ්ජාව ඉවසාගත නොහැකි වුණු ලස්සන හරිම දුකින් අවලස්සනගේ ඇදුම් ඇගෙන යන්නට ගියේය.

එදා පටන් මිනිසුන් විසින් මේ දෙදෙනා වරදවා තේරුම් ගනු ලැබිණි.එහෙත් ඇදුම කුමක් වූවත් කලින් දැක පුරුදු මුහුණ නිසා ලස්සන හදුනා ගන්නා මිනිසුන්ද සිටිති. එහත් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඇදුමට රැවටී අවලස්සන වැළද ගන්නා මිනිසුන්ය.

(ඛලීල් ජිබරන්ගේ උපමා කතාවක් ඇසුරෙනි).

Wednesday, July 23, 2014

පුවතක් .......



තමන් වැදු පුතුගේ ගෙල හිර කර මරා දැමූ අම්මා කෙනෙක් ............

දරු පෙමට හඬමින් 
මහා සයුර ඉසිලන්න 
වලිගයෙන් දිය ඇද්ද
ලේනියකි පෙර කලෙක .........

මළ පුතුට පන දෙන්න
සොයා අබ ඇට මිටක් 
ගෙයින් ගෙට ඇවිද ගිය
කිසාගොතමියක් විය එකල .............

දස පාරමී දම් පුරා
වෙසතුරු මහ රජුන් 
දරුන් දන් දුන් දවසේ 
මන්ද්‍රි දේවිය හඬා වලපී 
ගැයූ දුක් ගී තව අසෙද්දී ..............

පතා දරු උණුසුමක් 
දෙව් මැදුරේ පන්සලේ කෝවිලේ
යාග පුද පඩුරු දී
සිහිනයෙන් නැළවිලි ගී ගයද්දී ...........

තම රුහිරු කිරි කරලා
පොවා රැය නිදි මරා 
හැදු වැදු දෑතින්ම 
පුතුගේ ගෙල සිර කරන්නට 
කුරිරු වුයේ කිමද 
නුඹේ සිත ............

Sunday, July 20, 2014

උපහාස හා අපහාස මුසු සංවාද කවි 01




ඉතිහාසයහි ඉතා ඈතට දිවෙන ජන කවිය මානව සමාජයත්  සමග වර්ධනය වුවක්ද ව්‍යාප්ත වුවක්ද වෙයි.
සංවාද කවිය ද එහිම අංගයක් හැටියට වැඩීගිය අයුරක් දක්නට ලැබේ. අප රටේ සංවාද කවි පොදු ජනතාව අතර බෙහෙවින් ජනප්‍රියව පැතිර ගොස් ඇත්තේ 18 වෙනි සියවසේ මුල් කාර්තුව තෙක්  පමණකැයි සිතිය හැකිය . කවි ශක්තියෙන් පරිපෝෂිත සුළු පිරිසකුත් යම්තම් හැකියාව ඇති කවීන් වැඩි පිරිසකුත් කියූ සංවාද කවි රැසක්  නූතන ජන කවි සාහිත්‍යට ඇතුලත් කොට ඇත . මේවා වැඩි කොටසක් මහනුවර හා රුහුණු යුගයට අයත් වේ. මේ එවක් සංවාද කවි කිහිපයකි .


  • මහනුවර යුගයේ සිංහල රජුගේ කවිකාර මඩුවේ තරගයකදී කැකිරි ගොඩයාගේ මුවින් මෙසේ කවියක් ගිලිහුණේය .


ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නා
කිතුල් පිත්ත උඩ පියවර මැන්නා
උකුල් ඇටෙත් උගේ එලියට පැන්නා
එහෙව් එකත් කවි කීමට එන්නා   


  • ඊට ක්ෂණික පිලිතුර


මුට මුගේ මව් බඩ ගැබ්බ්රින් සිටි කල එදිනේ
රැට කැකිරි ගෙඩියක් උයා කුසගින්නට කාපු තැනේ
ඊට බඩේ රුජා පැහැර මේකා උත්පාද උනේ
මුට ඒක තමයි කැකිරිගොඩ නම හාමුදුරුවනේ

  •  වෙදකමින් සුවය නොලැබී ලෙඩෙක් මළේය. මෙයින් කෝපවූ ළඟ සිටි ඇවැස්ස නැයෙක් වෙද රාළට මෙසේ කීය.

තව වෙදකම් නොකර ඉන්න
බැඳලා ගනිමු මූ මරන්න


  • මෙයින් බියට පත්වූනේ වෙදරාල නොවේ. සුදුසු යමක් කිරීමේ හුරුබුහුටි ඔහු

ගිය පණ වත් ගෙන්නගන්න
වරා කිරෙන් දෙමු බලන්න

  • යනු කියමින් බෙහෙත් ගුලියක් මඩිස්සලෙන් එලියට ඇද්දේය මෙයින් විශ්මයට පත් නෑදෑයෝ වරා කිරි සෙවීමට ඒ මේ අත දිව්වෝය. ඔයින් මෙයින් ඉඩකඩ පෑදුනුවේද රාල වහ වහා ගෙදර ගොස් පණ බේරා ගත්තේය