Saturday, September 30, 2017

දරුවන්ගෙන් දෙමාපියන්ට නීති මාලාවක්.

"අනේ දෙවියනේ අම්මා සහ තාත්තා දිනපතා රණ්ඩු කිරීමෙන් වළක්වා දෙන්න"

අවුරුදු කිහිපයකට පෙර විදේශීය ගුරුවරයෙක් සහ ඔහුගේ බිරිඳ චිත්‍රපටයක් නරඹීමට ගොස් ගෙදර පැමිණි විට ඔවුන් දුටුවේ ඉදිරිපස දොර පියනට තබා අල්පෙනෙත්ති ගසන ලද සුදු කොළ කැබැල්ලකි. එහි ඔවුන්ගේ අට හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනා ලොකු අත් අකුරින් පහත දැක්වෙන වගන්ති කිහිපය ලියා තිබිණි.
  • වැඩිහිටියන් සඳහා නීතිරීති
  • තම වැඩිහිටි අය සමග සවස් කාලය ගත කිරීමට දරුවන් කැමතියි.
  • වැඩිහිටි අය තම දරුවන්ගේ ක්‍රීඩා වලට බාධා නොකළ යුතුය.
  • වැඩිහිටියෙකු ප්‍රශ්නයක් ඇසූ විට ළමයාට ද ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළ හැකිය.
  • වැඩිහිටි අය මිදුල පිරිසිදුව තැබිය යුතුය.
  • වැඩිහිටි අය තම දරුවන් සමග හෝ තම තමන් අතර රණ්ඩු සරුවල් නො කළ යුතුය.

මේ වගන්ති කිහිපය කියවා මේ මව සහ පියා ඊට යටින් අත්සන් කළේ ‘එකඟ වුණා’ යයිද ලියමිණි.

මේ සිදිධිය ගැන පියා මුලදී එතරම් කල්පනා නොකළ ද ටික කලකට පසුව ලෝකයේ අනෙක් ළමුන් හටත් තම දෙමාපියන් සඳහා නීති සකස් කරන්න කීවොත් ඔවුන් කුමක් ලියනු ලබයිද කියා කල්පනා කරන්නට විය.

මෙසේ සිතූ පීටර් බව්මිස්ට විසින් අවුරුදු 15 න් පහළ ළමුන් විසින් තම දෙමාපියන් සඳහා නීති සකස් කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි. මේ සඳහා ඔහුට තම හිතවත් යුරෝපීය මනෝ විද්‍යාඥයින් කණ්ඩායමකගේ ද ලොව පුරා සිටින ළමා මනෝ විද්‍යාඥයින්ගේ ද ගුරුවරුන්ගේ ද නොමසුරු සහයෝගය ලැබුණි.
පුරා අවුරුදු තුනක් කල් ගෙන ගිය මෙම ව්‍යාපාරයට බ්‍රිතාන්‍ය, කැනඩාව, දකුණු අප්‍රිකාව,  ඕස්ට්‍රේලියාව, සහ යුරෝපයේ රටවල් කිහිපයක අවුරුදු 15 පහළ ළමුන් ලක්ෂයක් පමණ සහභාගී වූහ.

ඔවුන්ගේ මාපියන් සමාජයේ සෑම අංශයකටම අයිති විය. කම්කරුවන්, සිවිල් සේවකයන්, ගුරුවරුන්, චිත්‍ර ශිල්පීන්, ව්‍යාපාර සහ වාණිජ අංශයට අයත් වූවන් කඩ සාප්පු හිමියන් සහ එවකට ප්‍රංශ කැබිනට් සාමාජිකයෙක් ද මෙම ළමුන්ගේ මාපියන් අතර විය.

පරික්ෂණය ඉතා පහසු විය. සාමාන්‍යයෙන් එක ගුරුවරයෙක් එකම වයසේ කුඩා ළමුන් කණ්ඩායමකට ඔවුන් විසින් කළ යුතුයැයි බලාපොරොත්තු වන දෙය අවබෝධ කර දෙයි. ඉන් පසුව මෙම ළමයි ඔවුන් තම දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වන දේ සහ නොවන දේවල් අනුව නීති 10 ලිවීමට සැලැස්සීය. එහෙත් ලිවීමට පළමුව හොඳට කල්පනා කරන්න යයි ගුරුවරයා ළමුන්ට උපදෙස් දුන්නේය. අවුරුදු 14 - 15 ක් වන ළමුන්ට තමන්ගේ නීති බයක් සැකක් නැතිව ලිවීමට කී අතර ඔවුන් ලියන දේවල් ඉතා රහසිගතව තබා ගන්නා බවට ද සහතික කරන ලදී.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉතා වැදගත් බොහෝ විට සිත් කම්පා කර වන ලියවිලි ලක්ෂයක් පමණ ලැබී තිබිණි. තම ළමුන්ට වෙනස් කම් කරන දෙමාපියන් ළමුන් ගැන නොසැලකිලිමත් වන දෙමාපියන් ළමුන් හට කෲරකම් කරන දෙමාපියන් මේ ලියවිලි තුළින් කැඩපතකින් මෙන් මනාව පෙනෙන්නට විය.

මනෝ විද්‍යාඥයින් මෙම වටිනා කඩදාසි මනා ලෙස කියවා ගැඹුරට පරික්ෂා කළ විට ප්‍රධාන කරුණු දෙකක් පැහැදිලි විය. පළමුව ළමුන් පළමුවෙනි පේලි කිහිපය ලියන ලද නීති බොහෝ විට හාස්‍ය ජනක විය. විහිළු සහගත විය. ඔවුන් තම ළදරු හදවත් තුළ සැඟවී ඇති නියම ගැටලූ එමෙන්ම සංවේග, සිත් වේදන, සංතාප, හෙළි කරන ලද්දේ අවසාන පේලි කිහිපයේදීය.

දෙවනුව වයසින් වැඩි ළමයින් තම දෙමාපියන් විවේචනය කිරීමට එතරම් කැමැත්තක් නැති බව පෙනුණි.

පුදුම සහගත දෙය නම් රටවල් වලට අනුව ළමුන් සඳහන් කළ නීති වලට අනුව ළමුන් සඳහන් කළ නීති වෙනස් නොවීමයි. ලෝකයේ  සෑම ළමයෙකුටම පාහේ තිබුණේ එකම ඉල්ලීම්ය. බ්‍රිතාන්‍යයේ ළමුන්ට තිබූ ප්‍රශ්න අතුරින් කම්කටොලූ වේදනා චෝදනා සමාන ගැටලූ එක්සත් ජනපදයේ හෝ ප්‍රංශයේ ළමුන්ට ද තිබෙන බව පෙනුණි.

ලන්ඩන් නුවර වයස අවුරුදු දහයයි මාස හයක් වන කුඩා එව්ලින් නැමැති දැරිය ඇගේ හයවන නීතිය යාඥවක ස්වරූපයෙන් ලියා තිබුණි. ‘අනේ දෙවියනේ අම්මා සහ තාත්තා දිනපතා රණ්ඩු කිරීමෙන් වළක්වා දෙන්න...’

‘දෙමාපියන් හට රංඩුවීම තරයේම තහනම්’ නිව්යෝක් හී වයස එකොලහක් වන හර්බට් ලියා තිබූ අතර පැරිසියේ ජින් නැමැති දහ හැවිරිදි දැරිය ලියා තිබුණේ ‘ අම්මා සහ තාත්තා රංඩු කරන විට කවුරුන් හෝ වහාම ඔවුන් නැවැත් විය යුතුයි’ කියාය.

නිතරම ආරවුල් කරගන්නා දෙමාපියන් එම ආරවුල් තම දරුවන්ගේ බොළඳ හදවත් කෙරෙහි කොපමණ දුරට බලපානු ඇත්දැයි සලකන්නේ නැති බව මෙයින් පෙනී යයි. තද කෝපයෙන් දෙමාපියන් අතර හුවමාරු වන කටුක කර්කෂ වදන් සමහර විට ඊලඟ මොහොතේදී ඔවුන් අමතක කරන්නත් ඒවා කුඩා දරුවන්ගේ හදවත් පාරමින් අවුරුදු ගණනක් පවතී. මේ නිසා ඔවුන් තුළ ආරක්ෂා රහිත බවත් දෙමාපියන් කෙරෙහි අවිශ්වාසයත් හට ගනී.

මේ නිසා දරුවන් විසින් සකස් කළ නීති දහයේ දෙමාපියන්ගේ ආරවුල් කැපී පෙනෙන තැනක් ගන්නේ දෙමාපියන් මෙම ආරවුල් නිසා කවදා හෝ එකිනෙකා ගෙන් ඈත්වනු ඇතැයි ද එවිට තමගේ අහිංසක ලෝකය බිඳ වැටෙනු ඇතැයි ද යන බියක් ඔවුන් තුළ නිරතුරුවම ඇති බව ඔවුන්ගේ උත්තර වලින් පෙනී යයි.

දෙමාපියන්ගේ ආරවුල් වලට ප්‍රධාන තැනක් ළමුන්ගේ නීති මාලාවේ ලැබුණු අතර පවුලේ දරුවන් සැමට එකම මට්ටමින් ආදරය නොකිරීමේ ප්‍රශ්නයද එහි ප්‍රධාන තැනක් ගත් තවත් ප්‍රශ්නයකි. එක් ළමයෙකු පවුලේ සුරතලා වීම නිසා අනෙක් ළමුන්ගේ හදවත් පෑරී ඇති බව පෙනේ.

මනෝ විද්‍යාත්මකව බලන කළ ආදරයට පාත්‍රවීම සෑම දරුවෙකුගේම බලවත් ආශාව වේ. ළමුන්ගේ නීති අනුව ද තමන්ට වඩ වඩා දෙමාපියන්ගේ ආදරය ලබා ගැනීම අවශ්‍ය බව පෙනී යයි. එපමණක් නොව දෙමාපියන්ගේ අවධානය ද හුරතල් කිරීම ද තව තවත් අවශ්‍ය බව පැහැදිලි වේ.

දෙමාපියන් සෑම ළමයෙකුටම එකම ප්‍රමාණයේ ආදර සැලකිල්ල දක්වන බව පෙන්වීමට උත්සහ කළත් පවුලේ එකම ළමයෙකුට විශේෂ සැලකිල්ලක් දක්වන විට ඒ බව ක්ෂණයකින්ම වටහා ගැනීමට දරුවන්ට පුදුම ඉවක් තිබේ. එක ළමයෙකුට දෙමාපියන්ගෙන් ලැබෙන විශේෂ සැලකිලි වර්ණනා කිරීම් සහ වෙනත් ඉතා සුලූ වීශේෂ සැලකීම් පවා දෙමාපියන් ගණනකට නොගන්නේ එයින් අනෙක් කුඩා ළමුන්ගේ හදවත තුළ කිසිද සුව නොවන තුවාල ඇති කරවන අතර එමගින් දරුවාගේ අභිමානයට ද ආත්ව විශ්වාසයට ද බලවත් පහරක් වදී.

වයස එකොලහක් වන කුඩා ජෝන් ජොහන්ස් බර්ග් හී පාසල් ශිෂ්‍යයෙකි. ඔහු පාසලේ ඉතා හොඳ හැසිරීමක් ඇති ළමයෙකි. නමුත් ඔහුගේ ආත්ම විශ්වාසය ඉතාම අඩු බව ගුරුවරුන්ට ඉතා පහසුවෙන් අවබෝධ විය. දෙමාපියන්ද සෑම ළමයෙකුටම පොඩි මල්ලිට වගේ ආදරය කළ යුතුය. මේ ඔහු ලියූ එක නීතියකි. කුඩා ජෝන්ට වයස හතරක් වන කුඩා මල්ලි කෙනෙකු ඇති බව පසුව සොයා ගන්නා ලදි. සෑම ළමයෙකුටම එකම ප්‍රමාණයකට ආදරය කළ යුතුයි. තවත් දස හැවිරිදි මාග්‍රට් නැමැති කුඩා ළමයෙකු ද ලියා තිබිණි.

මෙම පරික්ෂණයෙන් පෙනුන එක විශේෂ කාරණයක් නම් මෙම කුඩා දරු දැරියන් තම දෙමාපියන් විවේචනය කිරීමේ දී දෙමාපියන්ගේ ධනවත්කම් හෝ දිළිඳුකම හෝ කිසිම විටක බලපා නොතිබීමයි. එමෙන්ම දෙමාපියන්ගේ සාමාජියිය උස් පහත් කම් ද බලපා නොතිබිණි. උදාහරණයක් වශයෙන් බ්‍රිතාන්‍යයේ උසස් ධනවත් පවුලක ළමයෙකුගේ ගැටලූ සහ වේල්ස් හී දුගී පතල් කම්කරුවෙකුගේ වැඩිමහල් පුතාගේ ගැටලූවද එක සමාන විය.

පිරිමි ළමයෙකු විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ තම පියා අනෙක් අයගේ ගෞරවයට භාජනය වන සුලූ පිරිමිකමින් යුක්ත අයෙකු වීමයි. සාධාරණත්වය පිළිබඳ හැඟීමත්, නොයෙක් වැඩ වල කෘත හස්තභාවය සහ සමහර විට පියා ගේ විනෝදාංශය යන කරුණු පුතෙකුගේ තුළ පියා කෙරෙහි යහපත් ආකල්පයක් ඇති වීමට සාධකයක් බව පෙනී යයි.

ළමයෙකුට ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනු වස් බොහෝ මුදල් අවශ්‍ය නැති බව පෙනිණ. ප්‍රීතිමත් නිවාසයකින් දරුවාට ආදරය ස්ථීර භාවය සහ ආරක්ෂාව ලබා දිය යුතුය. තමන්ගේ අතපසුවීම් වැරදි දෙස අනුකම්පාවෙන් සහ කරුණාවෙන් බලන කුඩා සමාජයක ජීවත් වීමටයි දරුවා කැමති.

ගුරුවරුන් විසින් එක් එක් ළමයා සකස් කළ නීති මාලාවේ එම ළමයා පන්තියේ දරන තත්ත්වය ද සඳහන් කරන ලදි. දෙමාපියන්ට විරුද්ධව බරපතල චෝදනා කිසිවක් කිරීමට නැති ප්‍රීතිමත් නිවෙස් වලින් පැමිණෙන දරුවන් බොහෝ කරදර ඇති සිත් තුළ සැඟවුනු වේදනාවන් ඇති දරුවන්ට වඩා සාමාන්‍යයෙන් පංතියේ ඉහළ ස්ථානවල වැජඹෙන බව එවිට පෙනිණි.

සමහර විට ගුරුවරුන් මෙවැනි අදූරදර්ශී දෙමාපියන්ට අවවාද කළ පසු ළමුන්ගේ අධ්‍යාපන තත්වය දියුණු වූ බව සඳහන් කර ඇත. මෙම ළමුන් තම දෙමාපියන් සඳහා නීති විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කළ නමුත් එක සමාන නීති 416 පමණ ඉතිරි කරන ලදි. ඒ 416 න් ද තෝරා බේරා ළමුන්ගේ හැඟීම් විකාශනය වන පරිදි අවසානයේ ‘ස්වර්ණමය’ නීති 10 පිටපත් කරන ලදි. ඒවා නම් පිළිවෙලින් මෙසේය.

ඔබගේ දරුවන් ඉදිරියේ දබර කර ගන්න එපා.
  • ඔබගේ සෑම දරුවෙකුටම එකම විදිහට සැලකිය යුතුය.
  • කිසිම දාක දරුවෙකුට බොරු නොකිය යුතුය.
  • දෙමාපියන් අතර එකිනෙකා කෙරෙහි අන්නෝන්‍ය වැටහීමක් තිබිය යුතුය.
  • දෙමාපියන් හා දරුවන් අතර කිට්ටු සුහදතාවක් තිබිය යුතුය.
  • ඔබගේ දරුවන්ගේ මිතුරන් ඔබගේ නිවසේ ආදරණීය අමුත්තන් වශයෙන් සැලකිය යුතුය.
  • සෑම විටම දරුවන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුය.
  • ඔබගේ ළමුන්ට දොස් පැවරීම හෝ දඬුවම් කිරීම අල්ලපු ගෙදර ළමයින් ඉදිරි පිට නොකළ යුතුය.
  • තම දරුවන්ගේ යහපත් ගතිගුණ යහපත් වැඩ ගැන නිතර කල්පනා කලයුතු අතර ඔවුන්ගේ අත් වැරදි ගැන  ඕනෑවට වඩා සිත්යොමු නොකළ යුතුය.
  • ළමුන්ට දක්වන ආදරයේ දී සහ ඔවුන් කෙරෙහි ගන්නා පිළිවෙතේදී නොසැලී සිට්ය යුතුය.

වසර දහයක් වන පීටර් විසින් පහත සඳහන් වාක්‍ය තම නීති දහයකට අමතරව ලියන ලදි. බොහෝ දෙමව්පියන් වාසනාවකට මෙන් පීටර් ගේ දෙමාපියන්ගේ ගණයට අයත් වේ. පීටර් අන්තිමට ලිව්වේ මෙයයි. ‘ මාගේ දෙමව්පියන් හොඳයි. ඒ නිසා මට හැකි වුනත් වෙන අම්මෙකුයි තාත්තෙකුයි මම මාරු කරන්නේ නෑ.