Tuesday, May 9, 2017

වෙසක් කැකුළු අතු අග හිද නටන විලාසේ

මේ වෙසක් මාසයයි. පරිසරය පුරාම අමුතු සිරියාවක් අරන්. ගස් වැල් මලින් බර වෙලා සුළගට නැළවෙද්දී අපේ මතකයට නැගෙන්නේ  ගරු මර්සලින් ජයකොඩි පියතුමා ගේ “ වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ"  යන ගීතයයි. 
දන්කොටුව නගරයට ආසන්නයේ පිහිටි ගොඩැල්ල නම් ගම් පියසේ 1902 ජුනි මාසයේ 3 වෙනිදා මල් පැලක් ඉදි කර තිබු නිවසේ අපුරු පුතෙක් උපන්නා.  ඒ කවුරුත් නොවෙයි පසු කලෙක ‘ මල් පැලේ උපන් පන්සලේ පියතුමා “ යන විරුදාවලිය ලත් ගරු මර්සලින් ජයකොඩි පියතුමායි. මෙතුමා ගෙ පියා ජයකොඩි ආරච්චිගේ ජෝශප්ය . මව නමින් ජොසපින් සේනාරත්නයි .පියා කතෝලිකය මව බෞද්ධය .

පවුලේ ආභාෂය දෙයාකාර වූ නිසා එතුමන් තම දෙමව්පියන් සමග නිවසේ සුරුවම් කුඩුව ළඟත් නිවසේ ඉදිරිපිට තිබුණා වූ මල්  පැල ළඟත්  පෙනී සිටියාය .එමගින් පියතුමා  කුඩා අවදියේ සිට තම ඒකායන විශ්වාසය දෙවි පියාණන් කෙරෙහි වර්ධනය කර ගන්නා අතර අනෙක් ආගම් කෙරෙහි ගෞරවය දැක්වීම ප්‍රගුණ කළා . එබැවින් එතුමන් ගේ ආගමික දැක්ම සාමකාමී හා සහජීවනයෙන් යුක්ත විය. ඒ නිසාවෙන් මර්සලින් ජයකොඩි පියතුමා විශේෂයෙන් බෞද්ධ ආගමිකයන් ගේ ගෞරවයට සහ ආදරයට පාත්‍ර විය. මල් පැලේ උපන් පන්සලේ පියතුමා ලෙස ජන හදවත් තුළ  එතුමා ලැගුම් ගත්තා . 

මග්ගොන මීසම් භාර පියතුමා ලෙස කටයුතු කරන අවදියේදි එතුමා විසින් ගීත රාශියක් රචනා කරන ලදී .ඒ අතරින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගේ රේඛාව චිත්‍රපටයේ ගී වලට මුල් තැනක් හිමිවේ. ඒ චිත්‍රපටයේ එන වෙසක් කැකුළු අතු අග හිද නටන විලාසේ නම් ගීතය රචනා කරන ලද්දේ ගරු මර්සලින් ජයකොඩි පියතුමාණන්ය. එහි සංගීතය සුනිල් ශාන්ත ශුරින් වන අතර  ඒ ගීය ගායනා කරන ලද්දේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය විසිනි.
වෙසක් මාසයේ ගස් වැල් මල් වලින් පිරී ඉතිරී යයි. පරිසරයේ  අමුතුම අසිරියක් දක්නට ලැබේ. මේ අපුරු මිහිරියාව ගරු මර්සලින් ජයකොඩි පියතුමා නිර්මාණයට හසු කරගෙන තිබේ.

වෙසක් කැකුළු අතු අග හිද නටන         විලාසේ 
ඉරෙන් හදෙන් සිරි විඳ විඳ රඟන            විලාසේ 
පියලි සලා  - ලා රේණු  හලා -ලා 

සුවද උරා සිසිල් සුළං සෙමෙන්           හමන්නේ 
ලොවම අවදි වෙමින් අමුතු පණක්     ලබන්නේ 

ඉරේ හදේ අසිරිය විඳිමින් වෙසක් කාලයට මල් පිපෙන අයුරු පියතුමා පැහැදිලි කරයි . 

දවට ගහේ ගහ මුදුනේ කොහා         හඬන්නේ 
කෑරලා ද නාද දෙමින් ගහට            කොටන්නේ
ටිංසද්දේ - ඒ මැද ඇද්දේ 

ගම වට කර කුරුළු ගීත අවට         ඇසෙන්නේ 
ගිරා රංචු කජු රඹුටන් සොයා            ඇදෙන්නේ 

මල් පිපිලා පලතුරු ඉදෙන කාලෙට පලතුරු කැමට කුරුල්ලන් සුවඳට පියඹා එන අයුරු  අපුරුවට  විස්තර වේ .

කදා වළලු  දෑත දිගේ ටිකිරි                 ලියන්නේ
ටිකිරි ටිකිරි වළලු හඬයි ළපටි            ලඳුන්නේ 
ගීත ගයන්නේ - ගයා නටන්නේ 

කොලු කෙලි පොදි ගී ගයමින් තුටින්    නටන්නේ 
ලොවම අවදිවෙමින් අමුතු පණක්      ලබන්නේ 

ගමේ ගැමි කාන්තාවන් ගේ සුන්දරත්වය, කුඩා දරුවන් නටමින් ගයමින් සතුටු වෙන ආකාරය පියතුමා අපුරු චිත්‍රයක් ලෙසින් පෙන්වා දේ . මේ ගීත නිර්මාණය දෙස බලන විට ගැමි පරිසරයේ සුන්දරත්වය අත් විඳිමින් සරළ භාෂාවක් යොදා ගෙන ලියා ඇති අයුරු පෙනී යයි. 

මර්සලින් ජයකොඩි පියතුමා තුළ ඇති අපුරු ළමා ගී නිර්මාණය කිරීමේ හැකියාව කුසලතාවය මේ ගීතයෙන් පැහැදිලි වේ 
වෙසක් කැකුළු අතු අග හිඳ කෘතියේ  මේ ගීතයට යටින් පසුව මෙසේ සදහන් කර තිබේ.

වෙසක් මහ මල් මහයි. මල් දකින විට මට වෙසක් සිහි වෙනවා . ඒ නිසයි මේ ගීය ලියවුනේ . “වෙසක් සමග මගේ ගියත් ගැයේවා”. කියා පතා . ඒ පැතීම තවමත් ඉහළින්ම ඉටු වෙනවා . ( 1956 )      

1 comment:

  1. මර්සලින් ජයකොඩි පියතුමාට පන්සලේ පියතුමා කියලා නම දැම්මේ ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝ... උන්වහන්සේට කිව්වේ පල්ලියේ හාමුදුරුවෝ කියලා... මර්සලින් පියතුමාගේ චරිතාපදානය ලිව්වේ ඉත්තෑපානේ හාමුදුරුවෝ... ඒ පොතේ නම තමා "මල්පැලේ උපන් පන්සලේ පියතුමා"... මල් පැල කිව්වේ මර්සලින් පියතුමා පොඩි කාලෙ හිටපු ගෙදර... ගෙදර අම්මා මුලු වත්තෙම මල් වවලලු තිබ්බෙ... ඉතින් ගමේ අය ගෙදරට කිව්වෙ මල් පැල කියලා...

    ReplyDelete