Wednesday, May 10, 2017

අපේ ජන කවියා දුටු මව් ගුණ වරුණ (ලෝක මව්වරුන්ගේ දිනය නිමිත්තෙනි)

මවකට හිමි තැන ගත හැකි තවත් කෙනෙකු ලොව වෙසෙතියි සිතිය නොහැකිය.  බුදුන් වහන්සේ ළඟට සිටි පුජනිය වස්තුව අම්මාය. ගෙදර බුදුන් අම්මා යන කියමන මේ මතය සනාථ කර දක්වයි 

සිය රුධිරය ඉමිහිරි කිරිබිඳු  බවට හරවා සිය දරුවාට පොවා ඔවුනගේ ජිවිතය පෝෂණය කරන අම්මාගේ අසිමිත වු ආදරයට සමාන වු ආදරයක් අපට තවත් තැනකින් සොයා ගත නොහැක. මේ නිසා මෙතෙක් ලොව පහළ වු බුද්ධිමතුන්, කලාකරුවන් වීරයන් මව ගැන කර ඇති වර්ණනා අසීමිතය. එමෙන්ම මේතාක් උපන් වීරයෝ ශ්‍රේෂ්ඨයෝ සැම කෙනෙක්ම ලෝකයට දායාද කර දෙන ලද්දේ මව්වරුන් විසිනි. එසේම ලොවට බිහි කල බිහිසුණු හිෂණය මතු කළ පරම දුෂ්ඨ මනුෂ්‍යයන් ද බිහි කලේ කවා පොවා ඇති දැඩි කලේ මව්වරුන් විසින්මය. 

මේ නිසා මෑණිවරුන්ට මෙලොව සුරපුරක් කිරීමට ද අපාර මහ ආගාධයක් කිරිමට ද හැකිය. අපේ සමාජය මව්වරුන්ට සැලකීම උසස් කොට සැලකූහ. මව්වරුන්ට සැළකීමට ගරු කිරීමට දිනයක් අවශ්‍ය නොවෙයි. දරුවන්ට අම්මා තරමි උතුම් වස්තුවක් තවත් නැත  මේ නිසාම අපේ ගැමි සාහිත්‍යය තුළ මව්ගුණ සැමරීම කොතෙකුත් සොයා ගත හැකිය.

බලන්න ජන කවියා සිය නිර්මාණ තුළින් මවකගේ අගය මතුකොට දක්වා ඇති අපුරුව.

අම්මා තමයි දහ දුකටම         බලන්නේ
අම්මා තමයි හැම කැත කුණු අනන්නේ 
අම්මා තමයි රසබත් ගෙන කවන්නේ
අම්මා ලබන ජාතියකදි දකින්නේ

තුසින් එදා ඇති කළෙදැයි අපෙ        අම්මා
ඇසින් කඳුළු පිස පිස තැනුවේ        අම්මා
කටේ දේත් ඇද ඇද කැව්වේ අම්මා
තවත් ජාතියකදී ලැබේවා අපේ         අම්මා

මවක තුළින් දක්නට ලැබෙන කරුණාව, දයාව, ආදරය එමෙන්ම ඇගේ සෞන්දර්යය හා අගය තවත් ගැමි කවියකු පවසන අන්දම මෙසේය.

යනෙන ගමන ගඟ බඩ ගහල මල වගේ
බලන බැල්ම පායන සූරියා වගේ 
දමන දෑත පෙරාපු රත්තරන් වගේ
අපේ අම්ම බුදුවන දෙවි කෙනෙක් වගේ

උඩින් යන්න රන් තැටියක් ලැබීයන්
උඩින් යන්න මුතු කුඩයක් ලැබීයන්
තනියම යන කලට පිරිවර ලැබීයන්
අපේ අම්ම ජාතිත් මට ලැබීයන්


ගෙදර කටයුතු වලින් වැඩි වැඩ කොටසක් පැවරි ඇත්තේ අම්මා වෙතය. කැලයට ගොස් දර කඩා ගෙන ඒමත් අම්මා ගේ එක් කාර්යයකි  කැලයට ගියත් අම්මාට සිහිවෙන්නේ දරුවන්ය එකම ගමනින් කාර්යයන් කිහිපයක් කරගෙන එන අම්මා ගැන දරුවකු කි කවියකි මේ. 

අතට වෙරඑ ඇහිද         ගෙනේ
ඉනට පලා නෙලා              ගෙනේ 
බරටම දර කඩා               ගෙනේ
එයි අම්මා විගස                කිනේ       

පුංචි පේර ඉණ බැඳගෙන ඉණේන් ගෙනෙයි අම්මා
ගැට නාරං ඉණ බැඳගෙන ඉණෙන් ගෙනෙයි අම්මා
පැන් කොරහට පැන් අර ගෙන අපි නාවති        අම්මා
සතර අපායේ නොවැටී නිවන් දකින්        අම්මා

දසමසක් කුස තුළ දාරා විළිරුදා විඳ මොළ කැටි බිළිදකු ලොවට බිහි කර එම සිඟිත්තා දෙපයින් නැගි පා නගන තෙක් මවක විදින දුක් නිම් නැත. එහෙත් අම්මාට ඒ ගැන ගානක් නැත. ඉවසිලිවන්තිය. සිඟිත්තා ගේ කැතකුණු අත ගාන්නීය, නිදි මරන්නීය , ඇගේ දුක සමනල ගිර පරයා නගින හැටි අපේ ජන කවියකුට පෙනි ඇති අයුරුයි මේ ...

කෝන් ගස් රුප්ප මුහුදට පෙනෙයි                    පෙනෙයි
මුදේ ඔරු පාරු දසතම වැනෙයි                         වැනෙයි
අම්මාගෙ දෙතන කිරි මුහුදට ඉසෙයි                 ඉසෙයි
අම්මා විදින දුක සමනල ගිරි හෙලට               පෙනෙයි

මවකට දරුවකු කොතරම් උපකාර කළාද උවැටන් කළාද සංග්‍රහ දැක්වුවද මව දරුවකුට කර ඇති උපකාර වලට ප්‍රති උපකාර තරම් නොවේ. බොදුනුවකු වු කවියා  මවට වන්දනාවේ ගොස් තමන්ගෙ පව් අරින්නට යැයි  මෙසේ ඇරයුම් කරයි.

වට්ටාරම බෙලිගල වැදපන්                  අම්මා
කිරි වෙහෙරේ රන් කොත වැදපන්         අම්මා
අලූත් නුවර දළදා වැදපන්                     අම්මා
බීපු කිරේ පව් ඇරවාපන්                         අම්මා

කොයිතරම් ආදරයෙන් ඇති දැඩි කළත් ඇතැම් යහගුණ හීන ගුණමකු දරුවන් තමන්ගේ මැණියන්ගෙ ගුණ නොදනිති. ඔවුන් තම මෑණියන්ට දොස් පරොස් කියති. නොසලකති. එවැනි අයහපත් දරුවන්ට ඔවදන් දෙන ජන කවියාගෙ කවියකි මෙය.

බිම ඉරි තළාලයි බිම් මල්                     පිපෙන්නේ
කඳ ඉරි තළාලයි කඳ රඹ                     පිපෙන්නේ
දස මස පිරිලයි අම්මා                             වදන්නේ
එහෙව් අම්මාට ඇයි තොපි                    බනින්නේ

අම්මා සිටින තාක් කල් අම්මාගේ වටිනාකම සමහර අයට දැනෙන්නෙ , පෙනෙන්නෙ නැහැ. ඒ අයට මව් සෙනෙහසේ අගය දැනෙන්නේ මව් සෙනෙහස නැති වු විටය. මවගේ සෙවන නොලැබී ගිය විටය ඇත්තෙන්ම අම්මාගෙන් ලබන සැබැ ආදරය තවත් කවරෙකුගෙන් ලබා ගන්නද අම්මා ගේ සෙවන අහිමි වු දරුවකුගේ දුක ශෝකය කවියකු මෙසේ ගෙන හැර දක්වයි.

නෙතට විල තමයි කඳුළැලි                        වැගිරීම
කයට බල තමයි මවගේ                       කිරිබීම 
මරුට බල තමයි ලෙඩ දුක්                   වැළදීම               
දුකට මුල තමයි වැදු ම්ව්                          නැතීවිම 

අම්මා කෙනෙකු ජිවත්ව සිටින තාක් කල් දරුවෙකුට බඩගින්නේ සිටිමට සිදුවන්නේ නැත කෙසේ හෝ අම්මා තම බඩගින්න ඉවසා දරාගෙන තම ආහාර කොටස තම දරුවාට දී දරුවාගේ කුස ගින්න නිවාලයි. එගෙත් අම්මා නැති දවසට....... නෙතට කඳුළු නංවන විලසින් ජන කවියා එම තත්ත්වය මෙසේ පද බැඳ දක්වයි.

කුකුලා නැති ගෙදර එළි වෙනවා        නොදැනේ
හරකා නැති ගෙදර රැ වෙනවා       නොදැනේ
බල්ලා නැති ගෙදර හොරු එනවා නොදැනේ
අම්මා නැති ගෙදර පණ යනවා   නොදැනේ


කුඩා දරුවෙකුට කුස ගින්නක් දැනුණ විට සොයන්නේ අම්මාය. අම්මෙකු කිසිදාක දරුවෙකු බඩ ගින්නේ තියා නැත. තමා නිරාහාරව සිට හෝ දරුවන්ගේ කුස  පිරවීම ඇයගේ සිරිතයි. අම්මා කවන බත් කටෙහි රස සමාන කළ හැකි රසයක් ලොව නැත. අම්මා අහිමි දරුවෙකුට කුස පිරෙන්නට ආහාරයක් ලැබෙන්නේ නැත. මේ එවන් දරුවෙකු  කියන දුක් ගායනයකි .

කිරි මදු වැල් කිරි මදු වැල් කිරි               අම්මේ
අපිත් කිරට හඩනා දරුවන්                      අම්මේ
අනුන් දීපු බත් බඩ නොපිරෙයි                 අම්මේ
ඈත ඉදන් මට අත වනපන්                      අම්මේ

මේ දරුවාගේ කුසේ ඇත්තේ ද අම්මා දුන්න බත්ය. අම්මා නැති වුවාට පසු හරි හමන් බත් වේලක් තවම ලැබී නැත.

අම්මා පල්ලා  අම්මා මයි                     අබිස්සරා 
අම්මා දුන්නු බත් හැන්දයි                    කුසේපුරා
අනුන් අතින් බත් නොපිරෙයි               හැන්ද පුරා
අම්මේ ගෙට වඩින් බත් කන්න                බඩපුරා 

දරුවාට  සිදුවන ලොකුම පාඩුව අම්මා අහිමි වීම බව  මින් කියැවෙන අතර අම්මා නැති දරුවෝ කුසගිනි නොදැනේවායි ද ප්‍රාර්ථනා කරති .


ඉර පායා ඉර මුදුනට එන්ට                 එපා
සද පායා සද මුදුනට එන්ට                 එපා
පැදි දියට බොර දිය එක් වෙන්න        එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න      එපා


සමහර දරුවන්ට හදිස්සියේ අම්මා මිය යෑමෙන් හෝ වෙනත් හේතු නිසා අම්මගේ ආදරය අහිමි වේ. මේ නිසා තම පියා දරුවන් හදා වඩා ගැනීමට යැයි සිතා කුඩම්මා කෙනෙකු නිවසට කැන්දාගෙන එයි. කුඩම්මා තම මවගේ සොහොයුරියක් නොවේ නම්  දරුවන්ට විඳින්නට සිදුවන දුක් ගැහැට කරදර නින්දා අපහස වල සීමාවක් නැත. එබදු අම්මා කෙනෙකුගෙන් පීඩාවට පත් දරුවන් දෙදෙනෙකුගේ අත්දැකීම ජන කවියෙකු කවියෙන් දක්වන්නේ මෙසේය.

කුඹුරට ගියත් ගෙම්බන්ගේ කරච්චලේ
හේනට ගියත් ගිරවන්ගේ        කරච්චලේ
ගෙදරට ගියත් පර අම්මගේ කරච්චලේ 
යමන් මලේ හත් ගව්වක් එපිට        කැලේ

දුනුකෙයියා මල වැට කෙයියා මල මානෙල් මල අලංකාරයෙන් හා විචිත්‍රත්වයෙන් පිරිපුන්ය අගයෙන් ද ඉහළය අමිමා ද එලෙසය දරුවන් ගේ ජිවිතයේ අඳුර දුරු කරන පහන ද අමිමාය  ඒ බව කවියා මෙසේ කියයි

දුර එන කොට දුනු කෙයියා මලක්           වගෙයි
ළග එනකොට වැට කෙයියා මලක්         වගෙයි
ගෙට එනකොට ගෙයි ඇවිලෙන පහන    වගෙයි
මගෙ අම්මා මට මානෙල් මලක්               වගෙයි 

දාරක ප්‍රේමය පිළිබඳ උදමි විය හැකි ගුණ වැනිය හැකි මව්වරුන් මෙන්ම දරුවන්ට අබමල් රේනුවක් තරමේ ආදරයක් නැති මව්වරුද සමාජයේ නැත්තේ නැත. එවන් හිතක් පපුවක් නැතිව තම දරුවන් හැරදා ඔවුන් සමාජයේ තනි වෙද්දී අනාථ වෙද්දී තම ආශාවන්ට වහල් වී යන්නට යති. එබදු අම්මලා නිසා අනාථ වන දරුවන්ගේ ශෝකාලාපයද අපේ ජන කවියාට හසුවී ඇත මේ එවැන්නකි.

අපේ අම්ම අපි මිදුලේ        දමලා
ලණුවක් අරන් දොර තදකර වසලා
හකුරු ගෙනෙන්නන් පුතුනේ කියලා
අම්ම ගියානේ අප හැර        දමලා

ජනකවියා සිය පද්‍ය නිර්මාණ බිහිකර ඇත්තේ කියවන්නාට වුනාට එයින් රසාස්වාදයක් ලබා දීමේ අභිප්‍රායෙන්ම නොව ජීවිතයේ විනිවිද හා උඩු යටි කුරු කොට දැක බලා ගැනීමේ අවස්ථාවද සපුරා ලමිනි.

දරුවන්ට ආදරයක් නැතිව දරුවන් අතහැර දමා යන මව්වරුන් පිළිබඳ හැඳින්වීමේදී ජන කවියා මව්වරුන්ගේ ක්‍රියාවෙන් දරුවන් පත්වෙන තත්වය දරුවන්ගේ ප්‍රකාශන තුළින් ගෙන හැර දක්වනවා විනා ඒ නිමිති ගෙන වර්ගයා හෙලා දකින්න හෝ එවන් අය ගැන කවියා තුළ උපන්න කෝපය ප්‍රකාශ කරන්නට උත්සහ කරන්නේ නැත. එය මානව භක්තිය අගයන සාර්ථක කවියෙකු ගේ මෙන්ම හික්මුනු මනසක් ගැඹුරු ජීවිතාවබෝධයක් ලැබුවකුගේ අධ්‍යාත්මයක් ප්‍රකට කරන ලක්ෂණයක් ලෙස හඳුන්වා දිය හැකිය.

ජන කවිය පොදු ජනතාවගේ ජීවිතයටම සම්බන්ධ ඔවුන්ගේ විනෝදාස්වාදයේ ජිවිතාංගයකි. ඔහු වෙලේ ඇලේ දොලේ පැලේ විලේ පමණක් නොව ගැලේද පතලේද ජීවිත කාර්යයන් සපුරාලන විට ඇති වෙන කාන්සිය හා වෙහෙස මහන්සිය දුරලීමේ මඟක් වශයෙන්ද මේ ජන කවි භාවිතා කෙරෙයි.

එබඳු අවස්ථාවක උතුම් වූ මව් ගුණ ගැන කියන්න්නට මෙනෙහි කරන්නට ලැබීම තුළින් සිය ජීවිතයට ප්‍රති ප්‍රවාහයක් මෙන්ම විශාල අධ්‍යාත්මික ශක්තියක්ද ලැබුවාට සැකයක් නැත.


චිත්‍රය - ජයසිරි සේමගේ

4 comments:

  1. Replies
    1. ස්තුතියි. කියවන එක ගැන සතුටුයි

      Delete
  2. හරිම ආසාවෙන් කියෙව්වා... ස්තූතියි ඔයාට... ජයවේවා ...

    ReplyDelete
    Replies
    1. දිරිගැන්වීමට ස්තුතියි. දිගටම කියවන්න

      Delete