Thursday, May 25, 2017

අම්මාගෙ ආදරය........







එක් හැන්දැවක පුංචි මයිකල් රාත්‍රි ආහාර පිළියෙල කරමින් මුඑතැන් ගෙයි සිටි මව දෙසට දිව ගියා. ඔහු මව අසළට ගොස් කිසිවක් සටහන් කළ කඩදාසියක් ඇයගේ අතේ තැබුවා. ඇඳ සිටි ඒප්‍රනයේ අත් පිසදා ගත් මව මයිකල් දුන් කඩදාසිය කියවන්නට පටන් ගත්තා.
*   තණ කොළ කැපුවාට - ඩොලර් 5 යි
* මේ සතිය පුරාම මගෙ කාමරය පවිත්‍ර කළාට - ඩොලර් 4 යි
*  ඔබ වෙනුවෙන් වෙළදසලට ගොස් නිවසට අවශ්‍ය දේ ගෙනවට - ශත  50 යි
*  ඔබ සාප්පු ගොස් එනතුරු පුංචි මල්ලි බලා ගත්තාට - ශත  25 යි
*  නිවසේ කුණු කසළ එකතු කර පාරේ තිබෙන කසළ බඳුනට දැමුවාට - ඩොලර් 1 යි
* පාසලේ දි සෑම ව්ෂයකටම ඉහළ ලකුණු ගෙන හොඳ ප්‍රගති වාර්තාවක් ලබා  ගැනීම වෙනුවෙන් - ඩොලර් 5 යි
* මිදුල ශුද්ධ පවිත්‍ර කර රේක්කයෙන් පස් සකසා ගෙවත්ත පිළියෙළ කිරීම වෙනුවෙන් - ඩොලර් 2 යි
     සම්පුර්ණ  ගාස්තුව - ඩොලර් 14.75 යි

හොඳයි පුතා මං ඔයාට කියා දෙන්නම්. මුදල්  බලාපොරොත්තුවෙන් නොඉවසිල්ලෙන් බලා සිටි මයිකල්ට මව එසේ පැවසුවා . මඳක් කල්පනා කළ ඇය පෑනක් අරගෙන මයිකල් ලියු කඩදාසියේ අනෙක් පැත්තේ මොන මොනවදෝ සටහන් කරන්නට පටන් ගත්තා. ලිවීම් අවසන් කළ මව එය පුංචි මයිකල් ගේ අතට දුන්නා. මයිකල් එය කියවන්නට පටන් ගත්තා
*  මාස නවයක් ඔබව මගේ කුස තුළ දරා ගෙන පෝෂණය කිරිම වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකරමි.
*  රැය පුරාම නිදි වරමින් ඔබේ ලෙඩ ඇද ලඟට වි ඔබට සාත්තු කිරිම සහ ඔබට ඉක්මනින් සුව කර දෙන ලෙස දෙවියන් වහන්සේ ගෙන්  ඉල්ලමින් යාච්ඤ කිරිම වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකරමි.
*  වසර පුරා ඔබ වෙනුවෙන් සැලූ කදුළු සහ දුක් පීඩා වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකරමි.
*  ඔබ  වෙනුවෙන් බිය වු සහ කණගාටු වු රාත්‍රීන් වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකරමි.
*  ඔබට ලබා දුන් සෙල්ලම් බඩු ආහාරපාන ඇඳුම් සඳහා මෙන්ම ඔබේ නාසය පිස දැමිම වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකරමි.
*  ඔබ විසින් කළ සේවය වෙනුවෙන් ඔබ මගෙන් ගාස්තුවක් අය කරන නමුත් මගේ සැබෑ ආදරය වෙනුවෙන් මම ඔබෙන් කිසිදු මුදලක් අය නොකරමි.

මව ලියු සටහන කියවු පුංචි මයිකල්ගේ ඇස් වලට පිරුණු කදුළු බිදු කම්මුල් දිගේ රූරා ඇද හැළුණි. ඔහු මව දෙස කෙලින්ම බලා මෙසේ පැවසුවා. 
’’ අම්මේ මට සමාවෙන්න ....’’

මට තේරෙනවා අම්මා මට කොයිතරම් ආදරෙයි ද ... කියලා. මාත් මගේ අම්මට ගොඩාක් ආදරෙයි.

එසේ කී මයිකල් මවගෙන් පෑන ඉල්ලාගෙන ඔහු ලියු සටහන යටින් මෙසේ ලිව්වා.
"සම්පුර්ණ මුදල් ගෙවා ඇත."

එම් . ඇඩම්ස් නම් ඉංග්‍රීසි ජාතික ලේඛකයා ලියු "No Charge"නම් වු කතාව ඇසුරින් ලියන ලද මේ පුංචි කතාව කියෙව්වම අපිට දැනෙනවා අම්මාගෙ ආදරය කොයි තරම් උතුම් ද, ශක්තිමත් ද කියල. දරුවනට පුංචි පුංචි දේ මිල කරන්න පුලූවන් වුනත් අම්මාගේ ආදරය මිල කරන්න බැහැ. වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය අම්මාගේ ආදරය කියලා කියමනකුත් තිබෙනවනේ.

අම්මාගේ ආදරය කොයිතරම් උත්තරීතර ද කියලා කියවෙන විදේශ කවියක අපුරු අදහසක් ගැබ් වෙලා තියෙනවා. ඒ කවියේ අදහස මෙන්න මෙයයි.

අම්මා කෙනෙක් තමන්ගෙ පුංචි පුතා එක්ක ඇපල් හෙඩියක් කන්න සුදානම් වෙනවා. අම්මා ඇපල් ගෙඩිය දෙකට කපනවා. පුතා එක කෑල්ලක් කනවා. නමුත් අම්මාගේ කෑල්ල තවමත් මේසය උඩ තියෙනවා.

"ඇයි අම්මා ඇපල් කන්නෙ නැත්තේ...?’’  පුතා අසනවා.

’’ මං මේ කෑල්ල පුතාත් එක්ක බෙදා ගෙන කනවා.’’

අම්මා එහෙම කියලා අම්මාගෙ ඇපල් කෑල්ල ආයෙමත් දෙකට කපනවා.පුතා එක කෑල්ලක් කනවා  ඊළඟට අම්මා තමන්ගේ පුංචි ඇපල් කෑල්ල නැවත දෙකට කපනවා. පුතා එක කෑල්ලක් කනවා. මේ විදිහට අම්මා පුංචිම පුංචි කෑල්ලක් දක්වා පුතත් එක්ක ඇපල් ගෙඩිය බෙදා ගන්නවා. බලන්න අම්මලා තමන්ගේ දරුවන්ට කොයිතරම් ආදරෙයිද කියලා.

2 comments:

  1. මුල් කතාව කලින් කියවලා තියෙනවා... හැම අම්මා කෙනෙක්ම වගේ තමන්ට වඩා දරුවන් ගැන හිතනවා...

    ReplyDelete
    Replies
    1. ඒ හැම අම්මා කෙනෙකුටම තමන් ගේ දරුවන්ට වගේම අනෙක් දරුවන්ටත් ආදරය කරන්න පුළුවන් නම් ..........

      Delete