Wednesday, October 4, 2017

ආදරණිය ගුරුතුමිය - ලෝක ගුරු දිනය නිමිත්තෙනි

ගුරුවරයෙකු ගෙන් දරුවන්ට වෙන බලපෑම සාදාකාලිකයි. ඒ  බලපෑම නවතින්නේ කවදාදැයි කිසිම කෙනෙකුට කියන්න බැහැ. 

පස් වැනි ශ්‍රේණියේ පන්තියට ඇතුළු වන මුල්ම දවස අදයි. ඒ නිසා මං හිටියේ බොහොම බයෙන්.  ශාලාව කෙළවරටම පැමිණි මං කෙළවරේම තිබුණු කාමරයේ දොර ඇරගෙන ඒතුළට පිවිසුණා. පන්තිය තුළට පිවිසෙද්දි මට හිතුණේ මං එතැනට ගැලපෙන්නේ නැති බවක්. ඒ නිසා තරමක අපහසුතාවයක් ද දැනුණා. එහෙත්  ඒ කිසිවක් නොපෙන්වා සාමාන්‍ය ආකාරයට හැසිරෙන්න මං උත්සහා ගත්තා. බැරොට් ගුරුතුමිය නම් මං හිතන්නේ මගේ අපහසුතාව තේරුම්  ගන්න ඇති.

‘‘ සුබ උදැසනක් කර්ට්නි ...‘‘ ඔයා කැමති තැනකින් ඉඳ  ගන්න..
මං පන්තිය දෙස විමසිලිමත් වුණා. වෙන්ඩි අසල හිස්ව තිබුණු පුටුවෙන් මං වාඩි වුණා. වසර ක්‍රමයෙන් ගෙවී යත්ම වෙන්ඩියි මමයි හොඳ යහළුවන් බවට පත් වී තිබුණා. එහෙත් බැරෙට් ගුරුතුමිය කෙරෙහි නම් මගේ හිතේ එතරම් පැහැදීමක් තිබුණේ නැහැ. ඇය තවත් එක් ගුරුවරියක් බවයි මට හැඟුණේ.

අපේ අනාගත බලාපොරොත්තු කඩදාසියක ලියා ඈ අතට පත් කරන මෙන් දිනක් බැරොට් ගුරුතුමිය අපෙන් ඉල්ලා සිටියා. ඒ කුමක් සඳහා ද යන කුතුහලය අප සිත් තුළ පැන නැගුණා. ඉතිං අපි මේ ගැන ගුරුතුමියගෙන් අසා දැන ගත්තා.
‘‘ මගේ පංතියේ ඉගෙන ගන්න අය ලොකු මහත්වෙලා උපාධි අර ගෙන සමහර වෙලාවට මාව බලන්න එහෙම එනවා. එතකොට මං ඒ අයත් එක්ක පස්වෙනි පංතියේදී ගත කරපු සුන්දර ළමා කාලය සහ එකල ඒ අයගේ සිහින බලාපොරොත්තු ගැන සිහිපත් කරනවා. ගුරුතුමියගේ ඒ කතාවට මගේ හිත ගියා. එදා ඉඳල බැරොට් ගුරුතුමිය මට ප්‍රියමනාප කෙනෙක් බවට පත් වුණා.

ඔය කාලයේ මගේ ආච්චි අම්මා හිටියෙත් අපිත් එක්කමයි. ඇයට පිළිකාවක් වැළඳිලයි තිබුණේ. මාසයක් පමණ රෝගයෙන් දුක් වින්දා. මගේ ආච්චි අම්මා මියගියා. ආච්චි අම්මගේ මරණය මට දරාගන්න බැරි වුණා. ඒ නිසාම කිහිප දිනක්ම පාසල් යන්නත් බැරි වුණා.

අවමංගල උත්සවයේ අවසන් කටයුතු කරන මොහොතේදී මං දුටුවා බැරොට් ගුරුතුමිය එතැන සිටිනවා. මං අසලට පැමිණි ගුරුතුමිය මගේ අතින් අල්ලාගෙන හිත හදන්න උත්සහ ගත්තා. ආච්චි අම්මාට තව දුරටත් දුක සහ වේදනාව නොදැනෙන බව ඇය මට මතක් කර දුන්නා.

අවසන් කරයුතු වලින් අනතුරුව අපි ගියේ පුංචි අම්මගේ නිවෙසටයි. ශෝක ප්‍රකාශ කරමින් බොහෝ දෙනෙක් මල් එවලා තිබුණා. ඒ අතර තිබූ රෝස පාට මල් බඳුන අම්මා මගේ අතට දුන්නා. එයට අමුණා තිබූ කාඞ් පතෙහි මෙලෙස සටහන් ව තිබුණා.

කර්ට්නි..... 
මට ඔයාගේ ආච්චි අම්මා ගැන දුකයි. මං ඔයාට ආදරෙයි. ඒ බව කවමදාකවත් අමතක කරන්න එපා. ඔයා හරියට මගේම දරුවෙක් වගෙයි.
මීට ආදරණීය 
බැරොට් ගුරුතුමිය.

මට උවමනා උනා හයියෙන් අඬන්න. මං ඒ මල් බඳුන නිවෙසට රැගෙන ගොස් ආච්චි අම්මාගේ කාමරයේ තිබ්බා. හැමදාම වතුර දාල මං ඒ පැළය හරිම ආදරයෙන් රැක බලා ගත්තා. දැන් මං ඉන්නේ අට වෙනි පන්තියේ. තවමත් ඒ මල් පැළය අපේ නිවසේ තියෙනවා. ගුරුවරියක් තමන් ගේ සිසුන් කෙරෙහි මෙතරම් ආදරයක් දක්වනවා කියල මට හිතුනෙම නැහැ. ඒත් දැන් මං ඒ ගැන දන්නව.

මං මේ කියන්නෙ මගේ මුළු හදවතින් මයි. බැරොට් මහත්මිය වගේ ගුරුතුමියන් ලැබෙන හැමෝම හරිම වාසනා වන්තයි. දීර්ඝ කාලයකට හෝ කෙටි කාලයකට හෝ එවැනි ගුරුතුමියක ගෙන් ලබන ඇසුරෙන් ළමයි වන අපට ලැබෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ ලාභයක . සමහර විට ඒ බව ගුරුතුමිය දන්නේ නැතුවා වෙන්නත් පුළුවනි. ඒත් මං දන්නවා ගුරුතුමිය මට කොයි තරම් අගේ ද කියල.

බැරොට් ගුරුතුමියට මාත් ගොඩාක් ආදරෙයි. ඇය මට ගුරුතුමියකටත් වඩා අම්ම කෙනෙක් වගෙයි.

Chicken soup for the preteen soui
පරිවර්ථනය - රෝහිණි කුමාරි මුවන්දෙණිය

Saturday, September 30, 2017

දරුවන්ගෙන් දෙමාපියන්ට නීති මාලාවක්.

"අනේ දෙවියනේ අම්මා සහ තාත්තා දිනපතා රණ්ඩු කිරීමෙන් වළක්වා දෙන්න"

අවුරුදු කිහිපයකට පෙර විදේශීය ගුරුවරයෙක් සහ ඔහුගේ බිරිඳ චිත්‍රපටයක් නරඹීමට ගොස් ගෙදර පැමිණි විට ඔවුන් දුටුවේ ඉදිරිපස දොර පියනට තබා අල්පෙනෙත්ති ගසන ලද සුදු කොළ කැබැල්ලකි. එහි ඔවුන්ගේ අට හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනා ලොකු අත් අකුරින් පහත දැක්වෙන වගන්ති කිහිපය ලියා තිබිණි.
  • වැඩිහිටියන් සඳහා නීතිරීති
  • තම වැඩිහිටි අය සමග සවස් කාලය ගත කිරීමට දරුවන් කැමතියි.
  • වැඩිහිටි අය තම දරුවන්ගේ ක්‍රීඩා වලට බාධා නොකළ යුතුය.
  • වැඩිහිටියෙකු ප්‍රශ්නයක් ඇසූ විට ළමයාට ද ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළ හැකිය.
  • වැඩිහිටි අය මිදුල පිරිසිදුව තැබිය යුතුය.
  • වැඩිහිටි අය තම දරුවන් සමග හෝ තම තමන් අතර රණ්ඩු සරුවල් නො කළ යුතුය.

මේ වගන්ති කිහිපය කියවා මේ මව සහ පියා ඊට යටින් අත්සන් කළේ ‘එකඟ වුණා’ යයිද ලියමිණි.

මේ සිදිධිය ගැන පියා මුලදී එතරම් කල්පනා නොකළ ද ටික කලකට පසුව ලෝකයේ අනෙක් ළමුන් හටත් තම දෙමාපියන් සඳහා නීති සකස් කරන්න කීවොත් ඔවුන් කුමක් ලියනු ලබයිද කියා කල්පනා කරන්නට විය.

මෙසේ සිතූ පීටර් බව්මිස්ට විසින් අවුරුදු 15 න් පහළ ළමුන් විසින් තම දෙමාපියන් සඳහා නීති සකස් කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි. මේ සඳහා ඔහුට තම හිතවත් යුරෝපීය මනෝ විද්‍යාඥයින් කණ්ඩායමකගේ ද ලොව පුරා සිටින ළමා මනෝ විද්‍යාඥයින්ගේ ද ගුරුවරුන්ගේ ද නොමසුරු සහයෝගය ලැබුණි.
පුරා අවුරුදු තුනක් කල් ගෙන ගිය මෙම ව්‍යාපාරයට බ්‍රිතාන්‍ය, කැනඩාව, දකුණු අප්‍රිකාව,  ඕස්ට්‍රේලියාව, සහ යුරෝපයේ රටවල් කිහිපයක අවුරුදු 15 පහළ ළමුන් ලක්ෂයක් පමණ සහභාගී වූහ.

ඔවුන්ගේ මාපියන් සමාජයේ සෑම අංශයකටම අයිති විය. කම්කරුවන්, සිවිල් සේවකයන්, ගුරුවරුන්, චිත්‍ර ශිල්පීන්, ව්‍යාපාර සහ වාණිජ අංශයට අයත් වූවන් කඩ සාප්පු හිමියන් සහ එවකට ප්‍රංශ කැබිනට් සාමාජිකයෙක් ද මෙම ළමුන්ගේ මාපියන් අතර විය.

පරික්ෂණය ඉතා පහසු විය. සාමාන්‍යයෙන් එක ගුරුවරයෙක් එකම වයසේ කුඩා ළමුන් කණ්ඩායමකට ඔවුන් විසින් කළ යුතුයැයි බලාපොරොත්තු වන දෙය අවබෝධ කර දෙයි. ඉන් පසුව මෙම ළමයි ඔවුන් තම දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වන දේ සහ නොවන දේවල් අනුව නීති 10 ලිවීමට සැලැස්සීය. එහෙත් ලිවීමට පළමුව හොඳට කල්පනා කරන්න යයි ගුරුවරයා ළමුන්ට උපදෙස් දුන්නේය. අවුරුදු 14 - 15 ක් වන ළමුන්ට තමන්ගේ නීති බයක් සැකක් නැතිව ලිවීමට කී අතර ඔවුන් ලියන දේවල් ඉතා රහසිගතව තබා ගන්නා බවට ද සහතික කරන ලදී.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉතා වැදගත් බොහෝ විට සිත් කම්පා කර වන ලියවිලි ලක්ෂයක් පමණ ලැබී තිබිණි. තම ළමුන්ට වෙනස් කම් කරන දෙමාපියන් ළමුන් ගැන නොසැලකිලිමත් වන දෙමාපියන් ළමුන් හට කෲරකම් කරන දෙමාපියන් මේ ලියවිලි තුළින් කැඩපතකින් මෙන් මනාව පෙනෙන්නට විය.

මනෝ විද්‍යාඥයින් මෙම වටිනා කඩදාසි මනා ලෙස කියවා ගැඹුරට පරික්ෂා කළ විට ප්‍රධාන කරුණු දෙකක් පැහැදිලි විය. පළමුව ළමුන් පළමුවෙනි පේලි කිහිපය ලියන ලද නීති බොහෝ විට හාස්‍ය ජනක විය. විහිළු සහගත විය. ඔවුන් තම ළදරු හදවත් තුළ සැඟවී ඇති නියම ගැටලූ එමෙන්ම සංවේග, සිත් වේදන, සංතාප, හෙළි කරන ලද්දේ අවසාන පේලි කිහිපයේදීය.

දෙවනුව වයසින් වැඩි ළමයින් තම දෙමාපියන් විවේචනය කිරීමට එතරම් කැමැත්තක් නැති බව පෙනුණි.

පුදුම සහගත දෙය නම් රටවල් වලට අනුව ළමුන් සඳහන් කළ නීති වලට අනුව ළමුන් සඳහන් කළ නීති වෙනස් නොවීමයි. ලෝකයේ  සෑම ළමයෙකුටම පාහේ තිබුණේ එකම ඉල්ලීම්ය. බ්‍රිතාන්‍යයේ ළමුන්ට තිබූ ප්‍රශ්න අතුරින් කම්කටොලූ වේදනා චෝදනා සමාන ගැටලූ එක්සත් ජනපදයේ හෝ ප්‍රංශයේ ළමුන්ට ද තිබෙන බව පෙනුණි.

ලන්ඩන් නුවර වයස අවුරුදු දහයයි මාස හයක් වන කුඩා එව්ලින් නැමැති දැරිය ඇගේ හයවන නීතිය යාඥවක ස්වරූපයෙන් ලියා තිබුණි. ‘අනේ දෙවියනේ අම්මා සහ තාත්තා දිනපතා රණ්ඩු කිරීමෙන් වළක්වා දෙන්න...’

‘දෙමාපියන් හට රංඩුවීම තරයේම තහනම්’ නිව්යෝක් හී වයස එකොලහක් වන හර්බට් ලියා තිබූ අතර පැරිසියේ ජින් නැමැති දහ හැවිරිදි දැරිය ලියා තිබුණේ ‘ අම්මා සහ තාත්තා රංඩු කරන විට කවුරුන් හෝ වහාම ඔවුන් නැවැත් විය යුතුයි’ කියාය.

නිතරම ආරවුල් කරගන්නා දෙමාපියන් එම ආරවුල් තම දරුවන්ගේ බොළඳ හදවත් කෙරෙහි කොපමණ දුරට බලපානු ඇත්දැයි සලකන්නේ නැති බව මෙයින් පෙනී යයි. තද කෝපයෙන් දෙමාපියන් අතර හුවමාරු වන කටුක කර්කෂ වදන් සමහර විට ඊලඟ මොහොතේදී ඔවුන් අමතක කරන්නත් ඒවා කුඩා දරුවන්ගේ හදවත් පාරමින් අවුරුදු ගණනක් පවතී. මේ නිසා ඔවුන් තුළ ආරක්ෂා රහිත බවත් දෙමාපියන් කෙරෙහි අවිශ්වාසයත් හට ගනී.

මේ නිසා දරුවන් විසින් සකස් කළ නීති දහයේ දෙමාපියන්ගේ ආරවුල් කැපී පෙනෙන තැනක් ගන්නේ දෙමාපියන් මෙම ආරවුල් නිසා කවදා හෝ එකිනෙකා ගෙන් ඈත්වනු ඇතැයි ද එවිට තමගේ අහිංසක ලෝකය බිඳ වැටෙනු ඇතැයි ද යන බියක් ඔවුන් තුළ නිරතුරුවම ඇති බව ඔවුන්ගේ උත්තර වලින් පෙනී යයි.

දෙමාපියන්ගේ ආරවුල් වලට ප්‍රධාන තැනක් ළමුන්ගේ නීති මාලාවේ ලැබුණු අතර පවුලේ දරුවන් සැමට එකම මට්ටමින් ආදරය නොකිරීමේ ප්‍රශ්නයද එහි ප්‍රධාන තැනක් ගත් තවත් ප්‍රශ්නයකි. එක් ළමයෙකු පවුලේ සුරතලා වීම නිසා අනෙක් ළමුන්ගේ හදවත් පෑරී ඇති බව පෙනේ.

මනෝ විද්‍යාත්මකව බලන කළ ආදරයට පාත්‍රවීම සෑම දරුවෙකුගේම බලවත් ආශාව වේ. ළමුන්ගේ නීති අනුව ද තමන්ට වඩ වඩා දෙමාපියන්ගේ ආදරය ලබා ගැනීම අවශ්‍ය බව පෙනී යයි. එපමණක් නොව දෙමාපියන්ගේ අවධානය ද හුරතල් කිරීම ද තව තවත් අවශ්‍ය බව පැහැදිලි වේ.

දෙමාපියන් සෑම ළමයෙකුටම එකම ප්‍රමාණයේ ආදර සැලකිල්ල දක්වන බව පෙන්වීමට උත්සහ කළත් පවුලේ එකම ළමයෙකුට විශේෂ සැලකිල්ලක් දක්වන විට ඒ බව ක්ෂණයකින්ම වටහා ගැනීමට දරුවන්ට පුදුම ඉවක් තිබේ. එක ළමයෙකුට දෙමාපියන්ගෙන් ලැබෙන විශේෂ සැලකිලි වර්ණනා කිරීම් සහ වෙනත් ඉතා සුලූ වීශේෂ සැලකීම් පවා දෙමාපියන් ගණනකට නොගන්නේ එයින් අනෙක් කුඩා ළමුන්ගේ හදවත තුළ කිසිද සුව නොවන තුවාල ඇති කරවන අතර එමගින් දරුවාගේ අභිමානයට ද ආත්ව විශ්වාසයට ද බලවත් පහරක් වදී.

වයස එකොලහක් වන කුඩා ජෝන් ජොහන්ස් බර්ග් හී පාසල් ශිෂ්‍යයෙකි. ඔහු පාසලේ ඉතා හොඳ හැසිරීමක් ඇති ළමයෙකි. නමුත් ඔහුගේ ආත්ම විශ්වාසය ඉතාම අඩු බව ගුරුවරුන්ට ඉතා පහසුවෙන් අවබෝධ විය. දෙමාපියන්ද සෑම ළමයෙකුටම පොඩි මල්ලිට වගේ ආදරය කළ යුතුය. මේ ඔහු ලියූ එක නීතියකි. කුඩා ජෝන්ට වයස හතරක් වන කුඩා මල්ලි කෙනෙකු ඇති බව පසුව සොයා ගන්නා ලදි. සෑම ළමයෙකුටම එකම ප්‍රමාණයකට ආදරය කළ යුතුයි. තවත් දස හැවිරිදි මාග්‍රට් නැමැති කුඩා ළමයෙකු ද ලියා තිබිණි.

මෙම පරික්ෂණයෙන් පෙනුන එක විශේෂ කාරණයක් නම් මෙම කුඩා දරු දැරියන් තම දෙමාපියන් විවේචනය කිරීමේ දී දෙමාපියන්ගේ ධනවත්කම් හෝ දිළිඳුකම හෝ කිසිම විටක බලපා නොතිබීමයි. එමෙන්ම දෙමාපියන්ගේ සාමාජියිය උස් පහත් කම් ද බලපා නොතිබිණි. උදාහරණයක් වශයෙන් බ්‍රිතාන්‍යයේ උසස් ධනවත් පවුලක ළමයෙකුගේ ගැටලූ සහ වේල්ස් හී දුගී පතල් කම්කරුවෙකුගේ වැඩිමහල් පුතාගේ ගැටලූවද එක සමාන විය.

පිරිමි ළමයෙකු විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ තම පියා අනෙක් අයගේ ගෞරවයට භාජනය වන සුලූ පිරිමිකමින් යුක්ත අයෙකු වීමයි. සාධාරණත්වය පිළිබඳ හැඟීමත්, නොයෙක් වැඩ වල කෘත හස්තභාවය සහ සමහර විට පියා ගේ විනෝදාංශය යන කරුණු පුතෙකුගේ තුළ පියා කෙරෙහි යහපත් ආකල්පයක් ඇති වීමට සාධකයක් බව පෙනී යයි.

ළමයෙකුට ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනු වස් බොහෝ මුදල් අවශ්‍ය නැති බව පෙනිණ. ප්‍රීතිමත් නිවාසයකින් දරුවාට ආදරය ස්ථීර භාවය සහ ආරක්ෂාව ලබා දිය යුතුය. තමන්ගේ අතපසුවීම් වැරදි දෙස අනුකම්පාවෙන් සහ කරුණාවෙන් බලන කුඩා සමාජයක ජීවත් වීමටයි දරුවා කැමති.

ගුරුවරුන් විසින් එක් එක් ළමයා සකස් කළ නීති මාලාවේ එම ළමයා පන්තියේ දරන තත්ත්වය ද සඳහන් කරන ලදි. දෙමාපියන්ට විරුද්ධව බරපතල චෝදනා කිසිවක් කිරීමට නැති ප්‍රීතිමත් නිවෙස් වලින් පැමිණෙන දරුවන් බොහෝ කරදර ඇති සිත් තුළ සැඟවුනු වේදනාවන් ඇති දරුවන්ට වඩා සාමාන්‍යයෙන් පංතියේ ඉහළ ස්ථානවල වැජඹෙන බව එවිට පෙනිණි.

සමහර විට ගුරුවරුන් මෙවැනි අදූරදර්ශී දෙමාපියන්ට අවවාද කළ පසු ළමුන්ගේ අධ්‍යාපන තත්වය දියුණු වූ බව සඳහන් කර ඇත. මෙම ළමුන් තම දෙමාපියන් සඳහා නීති විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කළ නමුත් එක සමාන නීති 416 පමණ ඉතිරි කරන ලදි. ඒ 416 න් ද තෝරා බේරා ළමුන්ගේ හැඟීම් විකාශනය වන පරිදි අවසානයේ ‘ස්වර්ණමය’ නීති 10 පිටපත් කරන ලදි. ඒවා නම් පිළිවෙලින් මෙසේය.

ඔබගේ දරුවන් ඉදිරියේ දබර කර ගන්න එපා.
  • ඔබගේ සෑම දරුවෙකුටම එකම විදිහට සැලකිය යුතුය.
  • කිසිම දාක දරුවෙකුට බොරු නොකිය යුතුය.
  • දෙමාපියන් අතර එකිනෙකා කෙරෙහි අන්නෝන්‍ය වැටහීමක් තිබිය යුතුය.
  • දෙමාපියන් හා දරුවන් අතර කිට්ටු සුහදතාවක් තිබිය යුතුය.
  • ඔබගේ දරුවන්ගේ මිතුරන් ඔබගේ නිවසේ ආදරණීය අමුත්තන් වශයෙන් සැලකිය යුතුය.
  • සෑම විටම දරුවන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුය.
  • ඔබගේ ළමුන්ට දොස් පැවරීම හෝ දඬුවම් කිරීම අල්ලපු ගෙදර ළමයින් ඉදිරි පිට නොකළ යුතුය.
  • තම දරුවන්ගේ යහපත් ගතිගුණ යහපත් වැඩ ගැන නිතර කල්පනා කලයුතු අතර ඔවුන්ගේ අත් වැරදි ගැන  ඕනෑවට වඩා සිත්යොමු නොකළ යුතුය.
  • ළමුන්ට දක්වන ආදරයේ දී සහ ඔවුන් කෙරෙහි ගන්නා පිළිවෙතේදී නොසැලී සිට්ය යුතුය.

වසර දහයක් වන පීටර් විසින් පහත සඳහන් වාක්‍ය තම නීති දහයකට අමතරව ලියන ලදි. බොහෝ දෙමව්පියන් වාසනාවකට මෙන් පීටර් ගේ දෙමාපියන්ගේ ගණයට අයත් වේ. පීටර් අන්තිමට ලිව්වේ මෙයයි. ‘ මාගේ දෙමව්පියන් හොඳයි. ඒ නිසා මට හැකි වුනත් වෙන අම්මෙකුයි තාත්තෙකුයි මම මාරු කරන්නේ නෑ.
                                 

Saturday, June 17, 2017

පියවරුන්ගේ දිනය - පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි .....

සැම වසරකම ජුනි මාසයේ තුන්වෙනි ඉරු දිනය ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය ලෙස ලෝකවාසින් විසින්  සමරනු ලබේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි

පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි .....

අම්මා සඳකි මම ඒ  ලොව හිරුය      රිදි
ඒ ඉර හදෙන් නුඹේ ලෝකය එළිය    වුණි
රැකුමට පුතුන් දවසේ දුක් ගැහැට     විදී
පිය සෙනෙහසට කවි ගී ලියැවුනා      මදි ...

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ     පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට      දැනුනේ
මහමෙරකට උසයි දරු පෙම හද       පතුලේ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි     නොවුනේ....

මවකට මුවාවී නුඹ වෙත දිවි           දුන්නේ
මම වෙමි පුතුනි ඒ මා පමණයි         දන්නේ
පිය සෙනෙහස නැති ද දරුවනි      හඳුන්නේ
අම්මා වරුන් පමණ ද මතු බුදු        වන්නේ ....   

විශාරද ටි. එම්. ජයරත්න  සූරින් ගායනා කරන මේ ගීතය තුළින් පියෙකු තම දරුවන්ට දක්වන සෙනෙහස කියාපාන අයුරු  අප සිත් තුළට ගෙන එන්නෙ සංවේදී බවකි. හෙට දින බත සපයන්නට වෙහෙසෙන පියා හිමිදිරි උදයේ ගෙදරින් ගිය පසුව නැවත එන්නේ හවස් යාමයේදී ය. තම ආදරණීය දු දරුවන් වෙනුවෙන් දහදිය හෙළන පියා බොහෝ විට පවුලේ ආර්ථික තත්වය වැඩි දියුණු කිරීමට නිහඬවම උත්සාහ ගනියි. පියාගේ හදවත තුළ ඇති අප්‍රමාන දරු සෙනෙහසේ තරම බොහෝ විට නිර්මාණකරණයට හසු නොවේ. මේ නිසා පිය සෙනෙහසට එළි දැක්වු නිර්මාණ විරලය.

 නමුත් මව මෙන්ම පියා ද අප්‍රමාණ වෙහෙස දරමින් තම දූ දරුවන්  වෙනුවෙන් දහදිය කඳුළු හෙලන්නේය. ඔවුන්ට ගෞරවය  දැක්විමට, තුති පුදන්නට ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

පියවරුන්ගේ දිනය ආරම්භ වු හැටි .....

පියවරුන් ගේ දිනය ආරම්භවීමට පසුබිම සැකසි තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. ඇමරිකාවේ වොෂිංටන් නුවර විසු සොනරා ස්මාර්ට් ඩොච් නමැති කාන්තාවට පියවරුන් සඳහා ද විශේෂිත දිනයක් අවශ්‍ය බව කල්පනා වුයේ 1909 මැයි මාසයේදි මව්වරුන්ගේ දිනය වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙයකට සහභාගි වෙමින් සිටියදීය.

විලියම් ස්මාර්ට් නම් වු ඇගේ පියා දක්ෂ යුද හමුදා නිලධාරියෙකු විය. සොනාරා කුඩා කාලයේදිම මව මිය ගිය පසු සොනාරා ඇතුළු දරුවන් හය දෙනෙකු බලා ගනිමින් පියා කළේ විශාල කැපවීමක් බව ඇයට සිහි වුවාය. තම පියා කල එම විශාල කැපවීම ඉතා උතුම් කාර්යයක් බවත් ඒ සඳහා ඔහුට කළගුණ සැළකීම සහ ගරු බුහුමන් දැක්වීම තම යුතුකම බව වටහා ගත් සොනාරා තම පියා වැනි ලොව සිටින ආදරණීය පියවරුන් සඳහා විශේෂ දිනයක් අවශ්‍ය බැව් යෝජනා කළාය. පියාගෙ උපන් දිනය යෙදුණු ජුනි මාසය පියවරුන් ගේ දිනය සඳහා වෙන් කිරිමට ඈ කටයුතු කළය. ඒ අනුව පියවරුන්ගේ දිනය ප්‍රථම වරට 1919 ජුනි 19 වන ඉරු දිනයේ සමරන ලදි.

ඉන්පසු ඇමරිකාවේ නගර රැසක පියවරුන් ගේ දිනය සමරන ලදි. 1924 දි ඇමරිකාවේ ජනාධිපතිධූරය දැරු කැල්වින් කුලිජ් මහතා ද පියවරුන් ගේ දිනය සැමරීම සඳහා සහාය ලබා දුන්නේය. 1966 ඇමරිකාවේ ජනාධිපතිධූරය දැරු ලින්ඩන් බි. ජොන්සන් මහතා විසින් ජුනි මස තුන් වෙනි ඉරු දිනය ජාත්‍යන්තර පියවරුන් ගේ දිනය බවට ප්‍රකාශයට පත් කරන ලදි. ඉන්පසු ලොව පුරා රටවල් ජුනි මාසයේ තුන් වෙනි ඉරු දිනය ජාත්‍යන්තර පියවරුන් ගේ දිනය ලෙස සැමරිමට පටන් ගත්තේය.

Thursday, May 25, 2017

අම්මාගෙ ආදරය........







එක් හැන්දැවක පුංචි මයිකල් රාත්‍රි ආහාර පිළියෙල කරමින් මුඑතැන් ගෙයි සිටි මව දෙසට දිව ගියා. ඔහු මව අසළට ගොස් කිසිවක් සටහන් කළ කඩදාසියක් ඇයගේ අතේ තැබුවා. ඇඳ සිටි ඒප්‍රනයේ අත් පිසදා ගත් මව මයිකල් දුන් කඩදාසිය කියවන්නට පටන් ගත්තා.
*   තණ කොළ කැපුවාට - ඩොලර් 5 යි
* මේ සතිය පුරාම මගෙ කාමරය පවිත්‍ර කළාට - ඩොලර් 4 යි
*  ඔබ වෙනුවෙන් වෙළදසලට ගොස් නිවසට අවශ්‍ය දේ ගෙනවට - ශත  50 යි
*  ඔබ සාප්පු ගොස් එනතුරු පුංචි මල්ලි බලා ගත්තාට - ශත  25 යි
*  නිවසේ කුණු කසළ එකතු කර පාරේ තිබෙන කසළ බඳුනට දැමුවාට - ඩොලර් 1 යි
* පාසලේ දි සෑම ව්ෂයකටම ඉහළ ලකුණු ගෙන හොඳ ප්‍රගති වාර්තාවක් ලබා  ගැනීම වෙනුවෙන් - ඩොලර් 5 යි
* මිදුල ශුද්ධ පවිත්‍ර කර රේක්කයෙන් පස් සකසා ගෙවත්ත පිළියෙළ කිරීම වෙනුවෙන් - ඩොලර් 2 යි
     සම්පුර්ණ  ගාස්තුව - ඩොලර් 14.75 යි

හොඳයි පුතා මං ඔයාට කියා දෙන්නම්. මුදල්  බලාපොරොත්තුවෙන් නොඉවසිල්ලෙන් බලා සිටි මයිකල්ට මව එසේ පැවසුවා . මඳක් කල්පනා කළ ඇය පෑනක් අරගෙන මයිකල් ලියු කඩදාසියේ අනෙක් පැත්තේ මොන මොනවදෝ සටහන් කරන්නට පටන් ගත්තා. ලිවීම් අවසන් කළ මව එය පුංචි මයිකල් ගේ අතට දුන්නා. මයිකල් එය කියවන්නට පටන් ගත්තා
*  මාස නවයක් ඔබව මගේ කුස තුළ දරා ගෙන පෝෂණය කිරිම වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකරමි.
*  රැය පුරාම නිදි වරමින් ඔබේ ලෙඩ ඇද ලඟට වි ඔබට සාත්තු කිරිම සහ ඔබට ඉක්මනින් සුව කර දෙන ලෙස දෙවියන් වහන්සේ ගෙන්  ඉල්ලමින් යාච්ඤ කිරිම වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකරමි.
*  වසර පුරා ඔබ වෙනුවෙන් සැලූ කදුළු සහ දුක් පීඩා වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකරමි.
*  ඔබ  වෙනුවෙන් බිය වු සහ කණගාටු වු රාත්‍රීන් වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකරමි.
*  ඔබට ලබා දුන් සෙල්ලම් බඩු ආහාරපාන ඇඳුම් සඳහා මෙන්ම ඔබේ නාසය පිස දැමිම වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකරමි.
*  ඔබ විසින් කළ සේවය වෙනුවෙන් ඔබ මගෙන් ගාස්තුවක් අය කරන නමුත් මගේ සැබෑ ආදරය වෙනුවෙන් මම ඔබෙන් කිසිදු මුදලක් අය නොකරමි.

මව ලියු සටහන කියවු පුංචි මයිකල්ගේ ඇස් වලට පිරුණු කදුළු බිදු කම්මුල් දිගේ රූරා ඇද හැළුණි. ඔහු මව දෙස කෙලින්ම බලා මෙසේ පැවසුවා. 
’’ අම්මේ මට සමාවෙන්න ....’’

මට තේරෙනවා අම්මා මට කොයිතරම් ආදරෙයි ද ... කියලා. මාත් මගේ අම්මට ගොඩාක් ආදරෙයි.

එසේ කී මයිකල් මවගෙන් පෑන ඉල්ලාගෙන ඔහු ලියු සටහන යටින් මෙසේ ලිව්වා.
"සම්පුර්ණ මුදල් ගෙවා ඇත."

එම් . ඇඩම්ස් නම් ඉංග්‍රීසි ජාතික ලේඛකයා ලියු "No Charge"නම් වු කතාව ඇසුරින් ලියන ලද මේ පුංචි කතාව කියෙව්වම අපිට දැනෙනවා අම්මාගෙ ආදරය කොයි තරම් උතුම් ද, ශක්තිමත් ද කියල. දරුවනට පුංචි පුංචි දේ මිල කරන්න පුලූවන් වුනත් අම්මාගේ ආදරය මිල කරන්න බැහැ. වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය අම්මාගේ ආදරය කියලා කියමනකුත් තිබෙනවනේ.

අම්මාගේ ආදරය කොයිතරම් උත්තරීතර ද කියලා කියවෙන විදේශ කවියක අපුරු අදහසක් ගැබ් වෙලා තියෙනවා. ඒ කවියේ අදහස මෙන්න මෙයයි.

අම්මා කෙනෙක් තමන්ගෙ පුංචි පුතා එක්ක ඇපල් හෙඩියක් කන්න සුදානම් වෙනවා. අම්මා ඇපල් ගෙඩිය දෙකට කපනවා. පුතා එක කෑල්ලක් කනවා. නමුත් අම්මාගේ කෑල්ල තවමත් මේසය උඩ තියෙනවා.

"ඇයි අම්මා ඇපල් කන්නෙ නැත්තේ...?’’  පුතා අසනවා.

’’ මං මේ කෑල්ල පුතාත් එක්ක බෙදා ගෙන කනවා.’’

අම්මා එහෙම කියලා අම්මාගෙ ඇපල් කෑල්ල ආයෙමත් දෙකට කපනවා.පුතා එක කෑල්ලක් කනවා  ඊළඟට අම්මා තමන්ගේ පුංචි ඇපල් කෑල්ල නැවත දෙකට කපනවා. පුතා එක කෑල්ලක් කනවා. මේ විදිහට අම්මා පුංචිම පුංචි කෑල්ලක් දක්වා පුතත් එක්ක ඇපල් ගෙඩිය බෙදා ගන්නවා. බලන්න අම්මලා තමන්ගේ දරුවන්ට කොයිතරම් ආදරෙයිද කියලා.

Wednesday, May 10, 2017

අපේ ජන කවියා දුටු මව් ගුණ වරුණ (ලෝක මව්වරුන්ගේ දිනය නිමිත්තෙනි)

මවකට හිමි තැන ගත හැකි තවත් කෙනෙකු ලොව වෙසෙතියි සිතිය නොහැකිය.  බුදුන් වහන්සේ ළඟට සිටි පුජනිය වස්තුව අම්මාය. ගෙදර බුදුන් අම්මා යන කියමන මේ මතය සනාථ කර දක්වයි 

සිය රුධිරය ඉමිහිරි කිරිබිඳු  බවට හරවා සිය දරුවාට පොවා ඔවුනගේ ජිවිතය පෝෂණය කරන අම්මාගේ අසිමිත වු ආදරයට සමාන වු ආදරයක් අපට තවත් තැනකින් සොයා ගත නොහැක. මේ නිසා මෙතෙක් ලොව පහළ වු බුද්ධිමතුන්, කලාකරුවන් වීරයන් මව ගැන කර ඇති වර්ණනා අසීමිතය. එමෙන්ම මේතාක් උපන් වීරයෝ ශ්‍රේෂ්ඨයෝ සැම කෙනෙක්ම ලෝකයට දායාද කර දෙන ලද්දේ මව්වරුන් විසිනි. එසේම ලොවට බිහි කල බිහිසුණු හිෂණය මතු කළ පරම දුෂ්ඨ මනුෂ්‍යයන් ද බිහි කලේ කවා පොවා ඇති දැඩි කලේ මව්වරුන් විසින්මය. 

මේ නිසා මෑණිවරුන්ට මෙලොව සුරපුරක් කිරීමට ද අපාර මහ ආගාධයක් කිරිමට ද හැකිය. අපේ සමාජය මව්වරුන්ට සැලකීම උසස් කොට සැලකූහ. මව්වරුන්ට සැළකීමට ගරු කිරීමට දිනයක් අවශ්‍ය නොවෙයි. දරුවන්ට අම්මා තරමි උතුම් වස්තුවක් තවත් නැත  මේ නිසාම අපේ ගැමි සාහිත්‍යය තුළ මව්ගුණ සැමරීම කොතෙකුත් සොයා ගත හැකිය.

බලන්න ජන කවියා සිය නිර්මාණ තුළින් මවකගේ අගය මතුකොට දක්වා ඇති අපුරුව.

අම්මා තමයි දහ දුකටම         බලන්නේ
අම්මා තමයි හැම කැත කුණු අනන්නේ 
අම්මා තමයි රසබත් ගෙන කවන්නේ
අම්මා ලබන ජාතියකදි දකින්නේ

තුසින් එදා ඇති කළෙදැයි අපෙ        අම්මා
ඇසින් කඳුළු පිස පිස තැනුවේ        අම්මා
කටේ දේත් ඇද ඇද කැව්වේ අම්මා
තවත් ජාතියකදී ලැබේවා අපේ         අම්මා

මවක තුළින් දක්නට ලැබෙන කරුණාව, දයාව, ආදරය එමෙන්ම ඇගේ සෞන්දර්යය හා අගය තවත් ගැමි කවියකු පවසන අන්දම මෙසේය.

යනෙන ගමන ගඟ බඩ ගහල මල වගේ
බලන බැල්ම පායන සූරියා වගේ 
දමන දෑත පෙරාපු රත්තරන් වගේ
අපේ අම්ම බුදුවන දෙවි කෙනෙක් වගේ

උඩින් යන්න රන් තැටියක් ලැබීයන්
උඩින් යන්න මුතු කුඩයක් ලැබීයන්
තනියම යන කලට පිරිවර ලැබීයන්
අපේ අම්ම ජාතිත් මට ලැබීයන්


ගෙදර කටයුතු වලින් වැඩි වැඩ කොටසක් පැවරි ඇත්තේ අම්මා වෙතය. කැලයට ගොස් දර කඩා ගෙන ඒමත් අම්මා ගේ එක් කාර්යයකි  කැලයට ගියත් අම්මාට සිහිවෙන්නේ දරුවන්ය එකම ගමනින් කාර්යයන් කිහිපයක් කරගෙන එන අම්මා ගැන දරුවකු කි කවියකි මේ. 

අතට වෙරඑ ඇහිද         ගෙනේ
ඉනට පලා නෙලා              ගෙනේ 
බරටම දර කඩා               ගෙනේ
එයි අම්මා විගස                කිනේ       

පුංචි පේර ඉණ බැඳගෙන ඉණේන් ගෙනෙයි අම්මා
ගැට නාරං ඉණ බැඳගෙන ඉණෙන් ගෙනෙයි අම්මා
පැන් කොරහට පැන් අර ගෙන අපි නාවති        අම්මා
සතර අපායේ නොවැටී නිවන් දකින්        අම්මා

දසමසක් කුස තුළ දාරා විළිරුදා විඳ මොළ කැටි බිළිදකු ලොවට බිහි කර එම සිඟිත්තා දෙපයින් නැගි පා නගන තෙක් මවක විදින දුක් නිම් නැත. එහෙත් අම්මාට ඒ ගැන ගානක් නැත. ඉවසිලිවන්තිය. සිඟිත්තා ගේ කැතකුණු අත ගාන්නීය, නිදි මරන්නීය , ඇගේ දුක සමනල ගිර පරයා නගින හැටි අපේ ජන කවියකුට පෙනි ඇති අයුරුයි මේ ...

කෝන් ගස් රුප්ප මුහුදට පෙනෙයි                    පෙනෙයි
මුදේ ඔරු පාරු දසතම වැනෙයි                         වැනෙයි
අම්මාගෙ දෙතන කිරි මුහුදට ඉසෙයි                 ඉසෙයි
අම්මා විදින දුක සමනල ගිරි හෙලට               පෙනෙයි

මවකට දරුවකු කොතරම් උපකාර කළාද උවැටන් කළාද සංග්‍රහ දැක්වුවද මව දරුවකුට කර ඇති උපකාර වලට ප්‍රති උපකාර තරම් නොවේ. බොදුනුවකු වු කවියා  මවට වන්දනාවේ ගොස් තමන්ගෙ පව් අරින්නට යැයි  මෙසේ ඇරයුම් කරයි.

වට්ටාරම බෙලිගල වැදපන්                  අම්මා
කිරි වෙහෙරේ රන් කොත වැදපන්         අම්මා
අලූත් නුවර දළදා වැදපන්                     අම්මා
බීපු කිරේ පව් ඇරවාපන්                         අම්මා

කොයිතරම් ආදරයෙන් ඇති දැඩි කළත් ඇතැම් යහගුණ හීන ගුණමකු දරුවන් තමන්ගේ මැණියන්ගෙ ගුණ නොදනිති. ඔවුන් තම මෑණියන්ට දොස් පරොස් කියති. නොසලකති. එවැනි අයහපත් දරුවන්ට ඔවදන් දෙන ජන කවියාගෙ කවියකි මෙය.

බිම ඉරි තළාලයි බිම් මල්                     පිපෙන්නේ
කඳ ඉරි තළාලයි කඳ රඹ                     පිපෙන්නේ
දස මස පිරිලයි අම්මා                             වදන්නේ
එහෙව් අම්මාට ඇයි තොපි                    බනින්නේ

අම්මා සිටින තාක් කල් අම්මාගේ වටිනාකම සමහර අයට දැනෙන්නෙ , පෙනෙන්නෙ නැහැ. ඒ අයට මව් සෙනෙහසේ අගය දැනෙන්නේ මව් සෙනෙහස නැති වු විටය. මවගේ සෙවන නොලැබී ගිය විටය ඇත්තෙන්ම අම්මාගෙන් ලබන සැබැ ආදරය තවත් කවරෙකුගෙන් ලබා ගන්නද අම්මා ගේ සෙවන අහිමි වු දරුවකුගේ දුක ශෝකය කවියකු මෙසේ ගෙන හැර දක්වයි.

නෙතට විල තමයි කඳුළැලි                        වැගිරීම
කයට බල තමයි මවගේ                       කිරිබීම 
මරුට බල තමයි ලෙඩ දුක්                   වැළදීම               
දුකට මුල තමයි වැදු ම්ව්                          නැතීවිම 

අම්මා කෙනෙකු ජිවත්ව සිටින තාක් කල් දරුවෙකුට බඩගින්නේ සිටිමට සිදුවන්නේ නැත කෙසේ හෝ අම්මා තම බඩගින්න ඉවසා දරාගෙන තම ආහාර කොටස තම දරුවාට දී දරුවාගේ කුස ගින්න නිවාලයි. එගෙත් අම්මා නැති දවසට....... නෙතට කඳුළු නංවන විලසින් ජන කවියා එම තත්ත්වය මෙසේ පද බැඳ දක්වයි.

කුකුලා නැති ගෙදර එළි වෙනවා        නොදැනේ
හරකා නැති ගෙදර රැ වෙනවා       නොදැනේ
බල්ලා නැති ගෙදර හොරු එනවා නොදැනේ
අම්මා නැති ගෙදර පණ යනවා   නොදැනේ


කුඩා දරුවෙකුට කුස ගින්නක් දැනුණ විට සොයන්නේ අම්මාය. අම්මෙකු කිසිදාක දරුවෙකු බඩ ගින්නේ තියා නැත. තමා නිරාහාරව සිට හෝ දරුවන්ගේ කුස  පිරවීම ඇයගේ සිරිතයි. අම්මා කවන බත් කටෙහි රස සමාන කළ හැකි රසයක් ලොව නැත. අම්මා අහිමි දරුවෙකුට කුස පිරෙන්නට ආහාරයක් ලැබෙන්නේ නැත. මේ එවන් දරුවෙකු  කියන දුක් ගායනයකි .

කිරි මදු වැල් කිරි මදු වැල් කිරි               අම්මේ
අපිත් කිරට හඩනා දරුවන්                      අම්මේ
අනුන් දීපු බත් බඩ නොපිරෙයි                 අම්මේ
ඈත ඉදන් මට අත වනපන්                      අම්මේ

මේ දරුවාගේ කුසේ ඇත්තේ ද අම්මා දුන්න බත්ය. අම්මා නැති වුවාට පසු හරි හමන් බත් වේලක් තවම ලැබී නැත.

අම්මා පල්ලා  අම්මා මයි                     අබිස්සරා 
අම්මා දුන්නු බත් හැන්දයි                    කුසේපුරා
අනුන් අතින් බත් නොපිරෙයි               හැන්ද පුරා
අම්මේ ගෙට වඩින් බත් කන්න                බඩපුරා 

දරුවාට  සිදුවන ලොකුම පාඩුව අම්මා අහිමි වීම බව  මින් කියැවෙන අතර අම්මා නැති දරුවෝ කුසගිනි නොදැනේවායි ද ප්‍රාර්ථනා කරති .


ඉර පායා ඉර මුදුනට එන්ට                 එපා
සද පායා සද මුදුනට එන්ට                 එපා
පැදි දියට බොර දිය එක් වෙන්න        එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න      එපා


සමහර දරුවන්ට හදිස්සියේ අම්මා මිය යෑමෙන් හෝ වෙනත් හේතු නිසා අම්මගේ ආදරය අහිමි වේ. මේ නිසා තම පියා දරුවන් හදා වඩා ගැනීමට යැයි සිතා කුඩම්මා කෙනෙකු නිවසට කැන්දාගෙන එයි. කුඩම්මා තම මවගේ සොහොයුරියක් නොවේ නම්  දරුවන්ට විඳින්නට සිදුවන දුක් ගැහැට කරදර නින්දා අපහස වල සීමාවක් නැත. එබදු අම්මා කෙනෙකුගෙන් පීඩාවට පත් දරුවන් දෙදෙනෙකුගේ අත්දැකීම ජන කවියෙකු කවියෙන් දක්වන්නේ මෙසේය.

කුඹුරට ගියත් ගෙම්බන්ගේ කරච්චලේ
හේනට ගියත් ගිරවන්ගේ        කරච්චලේ
ගෙදරට ගියත් පර අම්මගේ කරච්චලේ 
යමන් මලේ හත් ගව්වක් එපිට        කැලේ

දුනුකෙයියා මල වැට කෙයියා මල මානෙල් මල අලංකාරයෙන් හා විචිත්‍රත්වයෙන් පිරිපුන්ය අගයෙන් ද ඉහළය අමිමා ද එලෙසය දරුවන් ගේ ජිවිතයේ අඳුර දුරු කරන පහන ද අමිමාය  ඒ බව කවියා මෙසේ කියයි

දුර එන කොට දුනු කෙයියා මලක්           වගෙයි
ළග එනකොට වැට කෙයියා මලක්         වගෙයි
ගෙට එනකොට ගෙයි ඇවිලෙන පහන    වගෙයි
මගෙ අම්මා මට මානෙල් මලක්               වගෙයි 

දාරක ප්‍රේමය පිළිබඳ උදමි විය හැකි ගුණ වැනිය හැකි මව්වරුන් මෙන්ම දරුවන්ට අබමල් රේනුවක් තරමේ ආදරයක් නැති මව්වරුද සමාජයේ නැත්තේ නැත. එවන් හිතක් පපුවක් නැතිව තම දරුවන් හැරදා ඔවුන් සමාජයේ තනි වෙද්දී අනාථ වෙද්දී තම ආශාවන්ට වහල් වී යන්නට යති. එබදු අම්මලා නිසා අනාථ වන දරුවන්ගේ ශෝකාලාපයද අපේ ජන කවියාට හසුවී ඇත මේ එවැන්නකි.

අපේ අම්ම අපි මිදුලේ        දමලා
ලණුවක් අරන් දොර තදකර වසලා
හකුරු ගෙනෙන්නන් පුතුනේ කියලා
අම්ම ගියානේ අප හැර        දමලා

ජනකවියා සිය පද්‍ය නිර්මාණ බිහිකර ඇත්තේ කියවන්නාට වුනාට එයින් රසාස්වාදයක් ලබා දීමේ අභිප්‍රායෙන්ම නොව ජීවිතයේ විනිවිද හා උඩු යටි කුරු කොට දැක බලා ගැනීමේ අවස්ථාවද සපුරා ලමිනි.

දරුවන්ට ආදරයක් නැතිව දරුවන් අතහැර දමා යන මව්වරුන් පිළිබඳ හැඳින්වීමේදී ජන කවියා මව්වරුන්ගේ ක්‍රියාවෙන් දරුවන් පත්වෙන තත්වය දරුවන්ගේ ප්‍රකාශන තුළින් ගෙන හැර දක්වනවා විනා ඒ නිමිති ගෙන වර්ගයා හෙලා දකින්න හෝ එවන් අය ගැන කවියා තුළ උපන්න කෝපය ප්‍රකාශ කරන්නට උත්සහ කරන්නේ නැත. එය මානව භක්තිය අගයන සාර්ථක කවියෙකු ගේ මෙන්ම හික්මුනු මනසක් ගැඹුරු ජීවිතාවබෝධයක් ලැබුවකුගේ අධ්‍යාත්මයක් ප්‍රකට කරන ලක්ෂණයක් ලෙස හඳුන්වා දිය හැකිය.

ජන කවිය පොදු ජනතාවගේ ජීවිතයටම සම්බන්ධ ඔවුන්ගේ විනෝදාස්වාදයේ ජිවිතාංගයකි. ඔහු වෙලේ ඇලේ දොලේ පැලේ විලේ පමණක් නොව ගැලේද පතලේද ජීවිත කාර්යයන් සපුරාලන විට ඇති වෙන කාන්සිය හා වෙහෙස මහන්සිය දුරලීමේ මඟක් වශයෙන්ද මේ ජන කවි භාවිතා කෙරෙයි.

එබඳු අවස්ථාවක උතුම් වූ මව් ගුණ ගැන කියන්න්නට මෙනෙහි කරන්නට ලැබීම තුළින් සිය ජීවිතයට ප්‍රති ප්‍රවාහයක් මෙන්ම විශාල අධ්‍යාත්මික ශක්තියක්ද ලැබුවාට සැකයක් නැත.


චිත්‍රය - ජයසිරි සේමගේ

Tuesday, May 9, 2017

වෙසක් කැකුළු අතු අග හිද නටන විලාසේ

මේ වෙසක් මාසයයි. පරිසරය පුරාම අමුතු සිරියාවක් අරන්. ගස් වැල් මලින් බර වෙලා සුළගට නැළවෙද්දී අපේ මතකයට නැගෙන්නේ  ගරු මර්සලින් ජයකොඩි පියතුමා ගේ “ වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ"  යන ගීතයයි. 
දන්කොටුව නගරයට ආසන්නයේ පිහිටි ගොඩැල්ල නම් ගම් පියසේ 1902 ජුනි මාසයේ 3 වෙනිදා මල් පැලක් ඉදි කර තිබු නිවසේ අපුරු පුතෙක් උපන්නා.  ඒ කවුරුත් නොවෙයි පසු කලෙක ‘ මල් පැලේ උපන් පන්සලේ පියතුමා “ යන විරුදාවලිය ලත් ගරු මර්සලින් ජයකොඩි පියතුමායි. මෙතුමා ගෙ පියා ජයකොඩි ආරච්චිගේ ජෝශප්ය . මව නමින් ජොසපින් සේනාරත්නයි .පියා කතෝලිකය මව බෞද්ධය .

පවුලේ ආභාෂය දෙයාකාර වූ නිසා එතුමන් තම දෙමව්පියන් සමග නිවසේ සුරුවම් කුඩුව ළඟත් නිවසේ ඉදිරිපිට තිබුණා වූ මල්  පැල ළඟත්  පෙනී සිටියාය .එමගින් පියතුමා  කුඩා අවදියේ සිට තම ඒකායන විශ්වාසය දෙවි පියාණන් කෙරෙහි වර්ධනය කර ගන්නා අතර අනෙක් ආගම් කෙරෙහි ගෞරවය දැක්වීම ප්‍රගුණ කළා . එබැවින් එතුමන් ගේ ආගමික දැක්ම සාමකාමී හා සහජීවනයෙන් යුක්ත විය. ඒ නිසාවෙන් මර්සලින් ජයකොඩි පියතුමා විශේෂයෙන් බෞද්ධ ආගමිකයන් ගේ ගෞරවයට සහ ආදරයට පාත්‍ර විය. මල් පැලේ උපන් පන්සලේ පියතුමා ලෙස ජන හදවත් තුළ  එතුමා ලැගුම් ගත්තා . 

මග්ගොන මීසම් භාර පියතුමා ලෙස කටයුතු කරන අවදියේදි එතුමා විසින් ගීත රාශියක් රචනා කරන ලදී .ඒ අතරින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගේ රේඛාව චිත්‍රපටයේ ගී වලට මුල් තැනක් හිමිවේ. ඒ චිත්‍රපටයේ එන වෙසක් කැකුළු අතු අග හිද නටන විලාසේ නම් ගීතය රචනා කරන ලද්දේ ගරු මර්සලින් ජයකොඩි පියතුමාණන්ය. එහි සංගීතය සුනිල් ශාන්ත ශුරින් වන අතර  ඒ ගීය ගායනා කරන ලද්දේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය විසිනි.
වෙසක් මාසයේ ගස් වැල් මල් වලින් පිරී ඉතිරී යයි. පරිසරයේ  අමුතුම අසිරියක් දක්නට ලැබේ. මේ අපුරු මිහිරියාව ගරු මර්සලින් ජයකොඩි පියතුමා නිර්මාණයට හසු කරගෙන තිබේ.

වෙසක් කැකුළු අතු අග හිද නටන         විලාසේ 
ඉරෙන් හදෙන් සිරි විඳ විඳ රඟන            විලාසේ 
පියලි සලා  - ලා රේණු  හලා -ලා 

සුවද උරා සිසිල් සුළං සෙමෙන්           හමන්නේ 
ලොවම අවදි වෙමින් අමුතු පණක්     ලබන්නේ 

ඉරේ හදේ අසිරිය විඳිමින් වෙසක් කාලයට මල් පිපෙන අයුරු පියතුමා පැහැදිලි කරයි . 

දවට ගහේ ගහ මුදුනේ කොහා         හඬන්නේ 
කෑරලා ද නාද දෙමින් ගහට            කොටන්නේ
ටිංසද්දේ - ඒ මැද ඇද්දේ 

ගම වට කර කුරුළු ගීත අවට         ඇසෙන්නේ 
ගිරා රංචු කජු රඹුටන් සොයා            ඇදෙන්නේ 

මල් පිපිලා පලතුරු ඉදෙන කාලෙට පලතුරු කැමට කුරුල්ලන් සුවඳට පියඹා එන අයුරු  අපුරුවට  විස්තර වේ .

කදා වළලු  දෑත දිගේ ටිකිරි                 ලියන්නේ
ටිකිරි ටිකිරි වළලු හඬයි ළපටි            ලඳුන්නේ 
ගීත ගයන්නේ - ගයා නටන්නේ 

කොලු කෙලි පොදි ගී ගයමින් තුටින්    නටන්නේ 
ලොවම අවදිවෙමින් අමුතු පණක්      ලබන්නේ 

ගමේ ගැමි කාන්තාවන් ගේ සුන්දරත්වය, කුඩා දරුවන් නටමින් ගයමින් සතුටු වෙන ආකාරය පියතුමා අපුරු චිත්‍රයක් ලෙසින් පෙන්වා දේ . මේ ගීත නිර්මාණය දෙස බලන විට ගැමි පරිසරයේ සුන්දරත්වය අත් විඳිමින් සරළ භාෂාවක් යොදා ගෙන ලියා ඇති අයුරු පෙනී යයි. 

මර්සලින් ජයකොඩි පියතුමා තුළ ඇති අපුරු ළමා ගී නිර්මාණය කිරීමේ හැකියාව කුසලතාවය මේ ගීතයෙන් පැහැදිලි වේ 
වෙසක් කැකුළු අතු අග හිඳ කෘතියේ  මේ ගීතයට යටින් පසුව මෙසේ සදහන් කර තිබේ.

වෙසක් මහ මල් මහයි. මල් දකින විට මට වෙසක් සිහි වෙනවා . ඒ නිසයි මේ ගීය ලියවුනේ . “වෙසක් සමග මගේ ගියත් ගැයේවා”. කියා පතා . ඒ පැතීම තවමත් ඉහළින්ම ඉටු වෙනවා . ( 1956 )      

Saturday, April 22, 2017

දරුවන් ගේ මුරණ්ඩුකම් වලට අපූරු පිළියම්

වෙනත් කාරණයකට පරණ ඉංග්‍රීසි සඟරා ගොඩක් අදිමින් සිටියදි එක් අපූරු ලිපියක් මගේ ඇස ගැටුණි.  එහි ඇතුළත්ව තිබුනේ කුඩා දරුවන්ගේ සුළු සුළු  මානසික වියවුල්තා විසදිමට ඔවුන් ගේ දෙමාපියන් විසින් ගත් සාර්ථක උත්සහයන් රැසකි.  ඉතා සරල වු එම උපායන් හේතුවෙන් කුඩා දරුවන්ගේ පෞරුෂය වර්ධනය වි ඇති ආකාරය විශ්මය සගතය.  කුඩා දරුවන් ඇති අපේ දෙමාපියන්ට ද ගුරුවරුන්ට ද එයින් මාහැගි ආදර්ශයක් ගත හැකි යයි හිතුනෙන් එය සිංහලට පෙරලා මෙසේ ඔබ වෙත එවන්නට සිතුවෙමි.  ඒ ඒ දෙමව්පියන් ගේ වචන වලින්ම එම ලිපියේ පළ වි තිබු තොරතුරු ඒ ආකාරයෙන්ම මෙසේ ඉදිරිපත් කරමි.

විදුලි කෙටිම කෙරෙහි ඉමහත් බියක් දැක්වු මාගේ දෙහැවිරිදි පුතා ජෝන් අකුණු සහිත වැසි ඇද හැලෙන විට බියලත්ව හඬන්නට වෙයි.  ඔහුගේ මෙම බියට හේතුව මතු කර ගෙන එය බිඳ දැමිමට මම උත්සහා කලෙමි.  අහස ගොරවන සෑම විටකම බුමි බුමි යයි හඬ නගමින් එසේ අහසේ ගෙරවුමි හඬට පිළිතුරු හඬ නැගීමට ඔහුව පෙළඹුවෙමි.  අහසේ හඬ පරයා හඬ නගන්නැයි ඔහුව උනන්දු කලෙමි. එම ක්‍රියාවෙන් ඔහුගේ බිය මුසු හැගිම් බැහැරව ගිය අතර අහසේ ගෙරවුමි හඬ නැගෙන හැම විටම ප්‍රීතියෙන් හඬ නැගිමට තරම් ඔහු තුළ සිදුවු මහත් වෙනසින් මා පුදුමයට පත් වුනෙමි. (ඒ. එචි. එම්. මහත්මිය)

මගේ පුතා ටොම්  අසල් වැසියන්ට මහත් කරදරකාරයෙක් වි සිටියේය. ඔවුන් ගේ මල් පාත්ති පුරා ඔහුගේ අඩි සටහන් නිබඳවම දක්නට ලැබුණි.  අවසානයේ මා සිතුවේ ඔහුට මල් වැවිම පිණිස බිම් කඩක් දී බැලිමටය.  ඔහු තුළ ඊට දැඩි උනන්දුවක් නැගුණි. පරිස්සමින් පාත්තිය සකස් කළ ඔහු එහි මල් ඇට ඉන්දුවේය.  බිජ පැළ වි අංකුර මතු වෙනු දැකිමෙන් මහත් ප්‍රමෝදයකට පත්වී සිටි ඔහු වරෙක කවුදෝ නොසැලකිල්ලෙන් ඔහුගේ මල් පාත්තිය මත අඩිය තබා ඇති බව දැක පත් වුයේ මහත් කණගාටුවකටය.  මල් පාත්තියක හිමිකරුවෙකු වීමෙන් පසු  ඔහු අතින් අන් අයගේ දේපලවලට නැවත හානියක් සිදු වුනේ නැත.  (එම්. ඒ. වයි. මහත්මිය)

අවුරුදු හතර හමාරක් වයසැති රිචඩ් හදිසියේම ගිනිකූරු පිළිබඳව ඇල්මක් දක්වන්නට විය.  ගිනිකූරු ඇල්ලීම ඔහුට තහනම් නොකල මම එය පාලනය කිරිම සඳහා නිවසේ ඉවත දමන කඩදාසි පිළිස්සිමේ තනතුර ඔහුට බාර දුනිමි. සෑම උදැසනකම නිවස පුරා ඇවිද ඉවත දැමු කඩදාසි එක් රැස් කරගෙන ආ ඔහු ඒවා ගොඩ ගසා පිළිස්සුවේ දැඩි උනන්දුවකිනි. කඩදාසි පිළිස්සීම සඳහා මිස ගිනිකූරු නොගැනීමට ඔහු පොරොන්දු විය. (ඒ. ඩබිලිව්. එම්. මහත්මිය)

අනුන් සතු දේ ගැනිමේ පුරුද්දට දස හැවිරිදි බිලී තදින්ම ඇබ්බැහි වී සිටියේය. පන්ති භාර ගුරුවරයා වු මම ඔහුව මගේ ගනුදෙනු භාර තැනැත්තා වශයෙන් තෝරා ගැනීමට අවසානයේ දී කල්පනා කලෙමි. නෝට්ටු සහ කාසි සහිත මගේ මුදල් පසුම්බිය ඔහු අතට දී ආපන ශාලාව වෙත ගොස් යමක් රැගෙන එන්නට යයි මා කිවේ ඔහු අංක ගණිතයට ද සාමාර්ථයක් දක්වන බවද දැන සිටි නිසාවෙනි.  "පර්ස් එකම" යි ඔහු ඇසුවේ විශ්මයෙනි. "අංක ගණිතයට දක්ෂ සිසුවෙකු හට මා තරමටම හොඳින් ගනුදෙනු කිරිමට හැකි බව දන්නා නිසා වැඩිපුර මුදල් ගෙන යාම ප්‍රශ්නයක් නොවේ" යයි පිළිතුරු වශයෙන් මම කිමි.  ආපසු පැමිණි ඔහුට ඉතිරි සල්ලි ගනන් කිරිමේ අවස්ථාව ද ලබා දුනිමි. ඉතිරි මුදල් මා සිතුසේම නිවැරදිව තිබිණ. මෙසේ හැමදාම කුමක් හෝ ගනුදෙනු කටයුත්තකට බිලීව යොදා ගත් මම ඔහුගේ විශ්වාසනීයත්වය පිළිබඳව පන්තිය ඉදිරියේ වර්ණනා කළෙමි.  බිලී අද අපගේ විශ්වාසවන්තම සිසුන් අතරින් එක් අයෙකි. ( එචි. එමි. ලූවිස් )

තුන් වන වසරට පා තැබු අපේ පුතා තුළ අඳුර කෙරෙහි මහත් බියක් වැඩෙන අයුරු පෙනුණි. ඉන් ඔහුව සුවපත් කරගැනීමට හැකි වුනේ පරණ කාලේ සෙල්ලමක් වන හැංගි මුත්තන් කෙලියේ ආධාරයෙනි. පළමුව කළුවර කාමරයක තාත්තා සැඟවුනු අතර අම්මා ඔහුව සොයා ගැනීමට තැත් කළාය. දෙවනුව සැඟවීමේ වාරය තිබුනේ අම්මාටය. සොයන්නා තාත්තාය. ඊළඟ පියවර වූයේ සැඟවෙන තැනැත්තා සමඟ සැඟවීමට පුතාවද පෙළඹවීමයි. අවසාන පියවර වුනේ කළුවර කාමරයේ තනිව සැඟවීමට පුතාව යොමු කිරීමයි. ඔහු ටිකෙන් ටික වැඩෙත්ම කළුවර කාමර වල විදුලි බුබුලූ දැල්වීම ආදී රාජකාරි ද ඔහුට පවරන ලදි. ඔහු කළුවරට බියවී සිටි බවක් කිසි විටක හෝ සිහිපත් නොකිරීමට අපි පරිස්සම් වීමු. වයස අවුරුදු 6 වන විට තමන් අඳුරට බය වී සිටි බවක් හෝ ඔහුට මතක තිබුනේ නැත. (ඩි. සි. සි.)

දෙහැවිරිදි බඩී කොණ්ඩය කැපීමට යන්නේ යයි කී පමණින් මහත් සංත්‍රාසයට පත්වෙයි. බාබර් පුටුවේ වාඩි කළ මොහොතේ පටන් ඔහු හඬන්නේ හුස්ම නොහෙළාය.  බඩී ගේ කොණ්ඩය කපන දවසටම තාත්තාගේ කොණ්ඩයද කැපීමට යොදා ගනිමින් සකසන ලද උපක්‍රමය නිසා අපට ඔහුගේ අනියත බිය පහකර ලීමට හැකියාව ලැබිණි. තාත්තා හිඳගත් පුටුවේම වාඩිකර තාත්තාට දක්වන ලද සැලකිල්ලම ඔහුට ද දක්වනු දැක බඩී මහත් අභිමානයට පත්ව සිටින්නේ ය.  (එන්. අයි. එෆ්. මහත්මිය )

මගේ පුංචි දුව ඇයට කියන දේ නොකර සිටිමේ මුරණ්ඩු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට පටන් ගත්තාය. ඇයට ඍජු නියෝග දීම අවම කළ තරමට යහපත් ප්‍රතිඵල ලැඛෙන බව මට පෙනුණි. එතැන් පටන් උත්සුක වුයේ  මගේ ඉල්ලිම්, තෝරා ගැනිමට විකල්ප සහිතව ඈ වෙත ඉදිරිපත් කිරිමටය.  "සපත්තු දා ගන්න" යයි නොකියා "ඔයාගේ සපත්තු ඔයාම දාගන්නවද? නැත්තමි මං දාන්නද?" යි ඇසීමි. "අත් සෝදා ගන්න" යයි නොකියා  "ඔයා කොයි අත ද කලින් සෝදන්ඩ යන්නේ" යයි ඇසිමි  (පි. බී. මහත්මිය)

තමන්ට හිතෙන හිතෙන දේ ලබා දීමට අපි අපොහොසත් වන්නේ මන්දැයි කොපමණ පැහැදිලි කළත් පෙර යොවුන් වියේ සිටි මගේ දරු දෙදෙනා එය තේරුම් ගත්තේ නැත. අවසානයේ නිවසේ මාසික ආදයම් වියදම්  වාර්තා සකස් කිරිම සඳහා ඔවුන්වද සහභාගි කරවා ගැනීමට අපි තිරණය කළෙමු.  දැන් ඔවුන් නිවසේ ආදායම ගැනත් එය වියදම් වන අයුරු ගැනත් දන්නා නිසා අපට ඔරොත්තු නොදෙන කිසිවක් ඉල්ලන්නේ නැත. (ඩබිලිවි. එෆ්. එන්. මහත්මිය) 

මගේ දහ අට මාසයක වයසැති ළදරුවා ගෙවත්තේ මල් පාත්තියෙහි පිපී ඇති මල් කඩා ඉරා දැමිමට ප්‍රියතාවයක් දක්වන බව පෙනුණි.  ළදරුවා මලක් වෙත ලං වෙනු දුටු වහාම ඒ වෙත ගොස් එම මලේ සුවඳ  විඳීමට ළදරුවාව ද පෙළඹවිමට මගේ සැමියාත් මමත් උත්සහා ගතිමු. මල් වල සුවඳ විඳීමේ පුරුද්ද වෙත නැඹුරු කරවා මල් විනාශ කිරිමේ පුරුද්දෙන් ඔහුට මිදවීමට අවසානයේදි අපට හැකිවුණි. (කේ. ජි. මහත්මිය)  

- ඡායාරුප අන්තර්ජාලය ඇසුරිණි-